May 8, 2025

මෑතකදී රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී මියගිය සැකකරුවකුට සෙසු රැඳවියන් සමඟ ගැටලුවක් ඇති වී ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද පාර්ලිමේන්තුවට පැවසීය.

අධිකරණය තුළ ඔහුගේ දුරකථනය නාදවීමෙන් පසු අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කරන ලද මෙම පුද්ගලයාට සෙසු රැඳවියන් සමඟ ගැටලු ඇති වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය නානායක්කාර පැවසීය.

අධිකරණ අපහාස ගැටළුව සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ දැනට සාකච්ඡා පවත්වන බව අමාත්‍යවරයා පැවසීය.

එසේම, සැකකරුගේ මරණයට හේතුව තීරණය කිරීම සඳහා පරීක්ෂණ පවත්වන බව ඔහු පැවැසීය.

‘රිය අනතුරක් සම්බන්ධයෙන් සිය මිතුරෙකුට ඇප තැබීමට අධිකරණයට ගිය පුද්ගලයකු, එහිදී ඔහුගේ ජංගම දුරකථනය නාදවිම හේතුවෙන්, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබිණි.

පසුව අගුණකොළපැලැස්ස බන්ධනාගාරට රැගෙන ගිය ඔහු එහිදී මරණයට පත්ව ඇත.

පහරදීමකින් මෙම මරණය සිදුව ඇති බවට ඔහුගේ ඥාතීහු චෝදනා කරති.

පහතින් දැක්වෙන්නේ මෙම සිදුවීම පිළිබඳව මාධ්‍ය නීති සංසදයේ මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ ප්‍රබෝධ රත්නායක සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනකි.

‘වයස 45 පමන වන අසංක ඉදුනිල් එක්දරු පියෙක්. අසංගගේ ඥාතීන් පවසන ආකාරයට ඔහු පසුගිය අප්‍රේල් 30 වෙනිදා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට යන්නේ රිය අනතුරක් සම්බන්ධයෙන් සිය මිතුරෙකුට ඇප තියන්න. එහිදී අධිකරණය තුළ සිය දුරකතනය නාදවීමේ සිදුවීමක් නිසා අධිකරණයට අපහාස කිරීමේ චොදනාවක් මත අසංග දින 14කට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරා කියලයි ඥාතීන් පවසන්නේ. ඒ අනුව අසංගව අගුණකොළපැලැස්ස බන්ධනාගාරට ගෙන යනවා. බන්ධානාගාරගත කිරීමෙන් දිනයකට පසු එනම් මැයි 02 වෙනිදා අසංක මිය ගිය බවට පණිවිඩය ඥාතීන්ට ලැබෙනවා. මරණ පරීක්ෂණයේදී අසං​කගේ හිසට හානිවී තිබුන බව වෛද්‍යවරයා තමන්ට පැවසූ බවයි අසංකගේ ඥාතීන් පවසන්නේ, බන්ධනාගාරයෙදී සිදුවූ පහරදීමකින් මෙම මරණය සිදුවූ බවටයි ඥාතීන සැක කරන්නේ. මිය ගිය අසංකගේ දරුවා මෙවර වෛද්‍ය පීඨයට ඇතුල් වෙන්න සුදුසුකම් ලබපු දරුවෙක්. අසංක හම්බන්තොට ආර්ථික මද්‍යස්තානයේ සුලු රැකියාවක් කරපු කෙනෙක්, මේ මිය යන්නේ මේ රටේ අව-වරප්‍රසාදිත මිනිස්සු, මේ මිනිසුන්ගේ ජීවිත වලට වටිනාකමක් ලැබිය යුතුයි.’ ‘