May 4, 2025

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර යෝජිත ඒකාබද්ධ ව්‍යාපාරයක් හරහා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය නව ආයෝජකයන්ට විවෘත කිරීමට සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම පියවර ත්‍රිකුණාමල වරාය කලාපීය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීම සහ රටට විදේශ විනිමය ආකර්ෂණය කර ගැනීමේ පුළුල් උත්සාහයක කොටසකි.

ව්‍යාපෘතියේ ශක්‍යතාව තක්සේරු කිරීමට සවිස්තරාත්මක ව්‍යාපාර යෝජනාවක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කරනු ඇති බව දැනගන්නට ලැබේ.

කළ හැකි යැයි සැළකේ නම්, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා IOC සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගත් සමාගමක් ප්‍රධාන හවුල්කරුවන් ලෙස ඒකාබද්ධ ව්‍යාපාර සමාගමක් ස්ථාපිත කරනු ඇත.

“මෙම මධ්‍යස්ථානය පොදු පරිශීලක පර්යන්තයක් ලෙස ක්‍රියාත්මක වේවි. එමගින් බහු සමාගම්වලට සේවා සපයන අතර, අනාගතයේදී අනෙකුත් ආයෝජකයින්ට සහභාගී වීමට අවස්ථා නිර්මාණය කරනවා.” යනුවෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පැවසීය.

යටිතල පහසුකම් ක්‍රියාත්මක වූ පසු අමතර ආයෝජන දිරිමත් කරන පූර්ණ ක්‍රියාකාරී බලශක්ති මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම උපාය මාර්ගය බව ඔහු පැවසීය.

“කැලෑවක් වගේ තියෙද්දි කවුරුත් එන්නෙ නෑ. නමුත් මෙහෙයුම් ආරම්භ වෙලා නිසි මධ්‍යස්ථානයක් ස්ථාපිත කළාම, අනිත් ආයෝජකයෝ ඒවි,” යනුවෙන් ඔහු පැවසීය.

මූලික හවුල් ව්‍යාපාරය ක්‍රියාත්මක වූ පසු යෝජිත ත්‍රිකුණාමල ව්‍යාපෘතිය පෞද්ගලික අංශයේ සහභාගීත්වය තවදුරටත් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන අතර එය රටේ බලශක්ති යටිතල පහසුකම් දිගුකාලීනව නවීකරණය කිරීමට දායක වන බව නෙත්තිකුමාරගේ පවසයි.

ජාතික බලශක්ති යටිතල පහසුකම් සඳහා විදේශ මැදිහත්වීම පිළිබඳ අඛණ්ඩ දේශපාලන විවාදයක් මධ්‍යයේ මෙම වැඩසටහන පැමිණේ.

ත්‍රිකුණාමල වරාය සහ තෙල් ටැංකි ඉන්දියාවට බදු දීම සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂ කණස්සල්ල පළ කර තිබේ.

මෙම විරෝධතා නොතකා, ආර්ථික ප්‍රකෘතිය සඳහා ව්‍යාපෘතිය අත්‍යවශ්‍ය බව රජය පවසයි.

රූපවාහිනී වැඩසටහනකදී මෙම ගැටලුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක, ඉන්දියාව සමඟ අවසන් ගිවිසුමක් අත්සන් කර නොමැති බව පැහැදිලි කළේය.

“අපි අත්සන් කර ඇත්තේ විභවය ගවේෂණය කර ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක්. සැලැස්මට සියලු පාර්ශවයන් එකඟ වුවහොත් පමණක් විධිමත් ගිවිසුමක් අත්සන් කරනවා,” යැයි ජනාධිපතිවරයා පැවසීය.

ත්‍රිකුණාමල වරායේ උපායමාර්ගික වටිනාකම අවධාරණය කළ ඔහු, එය ලෝකයේ හොඳම ස්වාභාවික වරායන්ගෙන් එකක් ලෙසත්, වෙරළට ආසන්නව විශාල යාත්‍රා තැබිය හැකි බවත් හැඳින්වීය.

වරාය ප්‍රදේශයේ ධාරිතාව මෙට්‍රික් ටොන් 12,500ක් පමණ වන තෙල් ටැංකි 99ක් තිබේ.

වර්තමානයේ, තෙල් ටැංකි 24ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් පාලනය කරනු ලබන අතර,12ක් ලංකා IOC විසින් පාලනය කරනු ලබයි.

ඉතිරිය බොහෝ දුරට ප්‍රයෝජනයට ගෙන නොමැත.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා IOC අතර හවුල් ව්‍යාපාරයක් වන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් සඳහා වන ගිවිසුම මුලින් අත්සන් කරන ලද්දේ 2022 ජනවාරි මාසයේදී, රටේ මූල්‍ය අර්බුදයේ උච්චතම අවස්ථාවේදීය.

ආර්ථික පසුබෑම සහ දේශපාලන විරුද්ධත්වය හේතුවෙන් ප්‍රගතිය ප්‍රමාද වුවද, ටැංකි 51ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ව්‍යාපෘතිය ඩොලර් මිලියන 70ක ආයෝජනයක් සැලසුම් කර තිබිණි.