May 11, 2025

පෙබරවාරි 1 වැනි දින සිට ආනයන තහනම ඉවත් කිරීමෙන් පසු පසුගිය සිකුරාදා (9) වන විට වාහන ආනයනයෙන් රජය රුපියල් බිලියන 92ක බදු ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගු ප්‍රකාශක සීවලි අරුක්ගොඩ පවසයි.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත මාර්තු මාසයේදී ඩොලර් මිලියන 6,531 සිට අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 6,326 දක්වා පහත වැටී ඇති අතර එය මාසයක් තුළ ඩොලර් මිලියන 205ක පහත වැටීමක් පිළිබිඹු කරයි.

මේ නිසා සංචිත පහත වැටීමට වාහන ආනයන දායක වී ඇත්දැයි සැක මතු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පැහැදිලි කර ඇත්තේ වාහන ආනයනය සංචිත පහත වැටීමට සෘජුවම වග නොකියන බවයි.

මහ බැංකුවට අනුව එවැනි ගනුදෙනු සඳහා අරමුදල් සපයන ලද්දේ නිල සංචිත හරහා නොව දේශීය විදේශ විනිමය වෙළඳපොළ හරහාය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙළේ නිලධාරියකු පැහැදිලි කළේ රජය සහ මහ බැංකුව සම්බන්ධ ගලා ඒම් සහ පිටතට ගලායෑම් මත පදනම්ව රටේ දළ නිල සංචිත උච්චාවචනය වූ බවයි.

“සාමාන්‍යයෙන්, සංචිතවලට ගලා ඒම් සහ පිටතට ගලා යෑම් තිබෙනවා. ගලා ඒම්වලට මහ බැංකු විදේශ විනිමය මිලදී ගැනීම් සහ රජයේ ණය ලැබීම් ඇතුළත් වන අතර, පිටතට ගලායෑමට ණය ආපසු ගෙවීම් සහ මහ බැංකුව විසින් විදේශ විනිමය විකිණීම් ඇතුළත් වෙනවා.ශුද්ධ ගලා ඒම හෝ පිටතට ගලා යෑම මත පදනම්ව, දළ නිල සංචිත වැඩි වීම හෝ අඩුවීම සිදු වෙන්නේ,” යැයි නිලධාරියා පැවසීය.

වාහන ආනයනය සඳහා දිගුකාලීනව පැවති තහනම 2024 දී ඉවත් කිරීමත් සමඟ, රටේ ආර්ථික ප්‍රකෘතියට ඇති විය හැකි පීඩනය පිළිබඳ පුරෝකථන මතු වී තිබේ.

කෙසේවෙතත්, සංචිත ගොඩනැගීමට මහ බැංකුව කැපවී සිටින බව එම නිලධාරියා සඳහන් කළේය.