November 6, 2025

බංග්ලාදේශයේ මීළඟ මහ මැතිවරණය 2026 පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

එවන් පසුබිමක් තුළ විදෙස් මාධ්‍ය වාර්තා කළේ බංග්ලාදෙශයෙන් යළිත් ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වෙමින් පවතින බවයි. .

මැතිවරණ ව්‍යාපාරය අතරතුර චිතගොංහිදී BNP පක්ෂයෙන් නම් කරන ලද අපේක්ෂකයෙකුට වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා විය.

කොමිල්ලා හි තවත් අපේක්ෂකයෙකු තම නිවසට ගිනි තබා ඇති බවට චෝදනා කර තිබේ.

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) නම් කරන ලද අපේක්ෂක එර්ෂාඩ් උල්ලාගේ මැතිවරණ ප්‍රචාරක උත්සවයකදී සිදු වූ ප්‍රචණ්ඩ ප්‍රහාරය අන්තර්වාර රජය දැඩි ලෙස හෙළා දකී.

අන්තර්වාර රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම සාපරාධී ක්‍රියාව පිළිබඳව රජය සිය කනස්සල්ල ප්‍රකාශ කරන බවයි.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සහභාගී වන සියලුම අපේක්ෂකයින්ගේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා එහි නොසැලෙන කැපවීම නැවත අවධාරණය කරන බව ද රජය පවසයි.

සන්සුන්තාවය ආරක්ෂා කරන ලෙසත්, සංයමයෙන් කටයුතු කරන ලෙසත්, පෙබරවාරි මහ මැතිවරණය සාමය, ගෞරවය සහ සාධාරණත්වය සහිත වාතාවරණයක් තුළ පැවැත්වෙන බව සහතික කරන ලෙසත් අන්තර්කාලීන රජය සියලුම දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා තිබේ.

බංග්ලාදේශය පුරා නිදහස්, සාධාරණ, විශ්වසනීය සහ උත්සවශ්‍රීයෙන් යුත් මැතිවරණ සඳහා අවශ්‍ය ආරක්ෂිත සහ සාමකාමී තත්ත්වයන් සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් රජය තම කාර්යභාරය ඉටු කරනු ඇති බවත් අන්තර්වාර රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.