June 4, 2025

බදු අරමුණු සඳහා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වර්ගීකරණය කිරීම අභියෝගයට ලක්කරමින් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් ගොනුකරන ලද නඩුව ඊයේ අභියාචනාධිකරණය ඉදිරියේ තාවකාලික සමථයකට පත්කරන ලදී.

ශ්‍රී ලංකා එක්දින T-20 සහ ටෙස්ට් කණ්ඩායම්වල නායකයන් වන චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා විසින් මෙම රිට් පෙත්සම ගොනුකර ඇත.

ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් සේවකයින් ලෙස සළකමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පෞද්ගලික ආදායම් බදු පැනවීමට ගත් පියවර අත්තනෝමතික සහ අසාධාරණ බව ක්‍රීඩකයෝ තර්ක කළහ.

නඩුව වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග විය.

නඩු විභාගය අතරතුර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තාවකාලික සමථයකට පත්කිරීමක් යෝජනා කළේය.

පාර්ශවයන් විසින් එකඟ වූ කොන්දේසි යටතේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට අවශ්‍ය ගෙවීම් සිදුකරනු ඇති අතර, අදාළ බදු මුදල් ජුනි මාසයේ සිට දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කරනු ලැබේ.

පසුව අධිකරණය පෙත්සම්කරුවන්ට පක්ෂව නඩුව තීන්දු කළහොත්, රඳවාගනු ලැබූ බදු ආපසු ගෙවනු ලැබේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිෂාන් ප්‍රේමතිරත්න අධිකරණයට කියාසිටියේ, ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් ස්වාධීන සේවා සපයන්නන් ලෙස අඛණ්ඩව පෞද්ගලික ආදායම් බදු ගෙවා ඇති බවයි.

වසර ගණනාවක් පුරා ක්‍රීඩකයන් විසින් ගෙවන ලද මුදල් පිළිබඳ විස්තර ද ඔහු ඉදිරිපත් කළේය.

තාවකාලික සමථය සැළකිල්ලට ගනිමින්, පෙත්සම්කරුවන් මෙම අවස්ථාවේදී අතුරු සහනයක් ඉල්ලා නොසිටින බව නීතිඥ ප්‍රේමතිරත්න පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කළ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා යෝජිත සමථයට සියලු නීතිඥවරුන් ඔවුන්ගේ එකඟතාවය තහවුරු කළේය.

අගෝස්තු 29 වැනි දිනට පෙර විරෝධතා ගොනුකරන ලෙසත්, සැප්තැම්බර් 29 වැනි දිනට පෙර ප්‍රති-විරෝධතා ඉදිරිපත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළේය.

නඩුව ඉදිරියට ගෙනයෑමට අධිකරණය නොතීසි නිකුත් කළ අතර ඊළඟ නඩු විභාගය නොවැම්බර් 6 වන දිනට කල්තැබීය.

වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්, මහීෂ් තීක්ෂණ, පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් ඇතුළු ජාතික ක්‍රීඩකයන් 38 දෙනකුගේ අත්සන් සහිත ලිපියක් මාර්තු මාසයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

පෙත්සම්කරුවන් තර්ක කරන්නේ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් ඓතිහාසිකව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඇති කරගත් ගිවිසුම් යටතේ සේවකයන් ලෙස නොව ස්වාධීන සේවා සපයන්නන් ලෙස සළකනු ලැබූ බවයි.