January 27, 2026

මුදල් නොමැති ගිණුමකින් රුපියල් ලක්‍ෂ අටක් වටිනා චෙක්පත් දෙකක් නිකුත් කිරීමෙන් ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 25 (1) (අ) වගන්තිය යටතේ ගැනෙන වැරදි සිදුකළ බවට සනාථ වූ නඩුවක චූදිත වූ නීතිඥවරයකුට කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර වසර පහකට අත්හිටවූ බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් හා රුපියල් ලක්‍ෂ අටක දඩයක් නියම කළේය.

එයට අමතරව අපරාධයක වින්දිතයන් සහ සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ හා සහය ලබාදීමේ පනත යටතේ පැමිණිලිකාර ව්‍යාපාරිකයාට රුපියල් ලක්‍ෂ දහයක වන්දියක් ගෙවීමට ද නියම කළ මහෙස්ත්‍රාත්වරයා පෙරකී දඩය හා වන්දිය නොගෙවන්නේ නම් මාස දහඅටක සක්‍රිය ලිහිල් සිරදඬුවම් ලබාදීමට ද නියෝග කළේය.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් ගොනුකර තිබූ නඩුවක් විභාග කළ මහෙස්ත්‍රාත්වරයා සමරසේකර නමැති නීතිඥවරයාට එරෙහිව පැමිණිල්ල විසින් ගොනු කර ඇති පෙරකී චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවට නිගමනය කරමින් එම දඬුවම් නියම කළේය. චූදිත නීතිඥවරයා පැමිණිලිකරුගෙන් රුපියල් ලක්‍ෂ 100ක ණය මුදලක් ලබාගෙන ඇති බවත් ඇති කරගත් ගිවිසුම අනුව මුදල නිසියාකාරව නොගෙවීම පිළිබඳව විමසීමේදී අවස්ථා දෙකකදී එකී චෙක්පත් දෙක ලබාදී ඇති බවත් ගිණුමේ මුදල් නොමැති බව දනිමින් නිකුත් කළ එක් චෙක්පතක් අගරු වී ඇති බවත් අනෙක් චෙක්පත චූදිත විසින් කළ දැනුම්දීම අනුව බැංකුව විසින් ගෙවීම් අත්හිටුවා ඇති බවත් තම අධිකරණයට පැහැදිලි වන්නේ යැයි මහෙස්ත්‍රාත්වරයා එම තීන්දුව නිකුත් කරමින් පෙන්වා දුන්නේය.

ණය මුදල පියවනතුරු සුරක්ෂිතයක් ලෙස එකී චෙක්පත් ලබාදුන් බවට චූදිත පාර්ශ්වයේ නීතිඥවරුන් තම අධිකරණය හමුවේ කරුණු දැක්වුවද ඒවා සුරක්ෂිතයක් ලෙස ලබාදුන් චෙක්පත් නොව ණය පියවීම සඳහා ලබාදුන් චෙක්පත් බවට තම අධිකරණයට පෙනීයන බවත් චූදිත පළමුවරට වරදකරුවකු වූ අයෙකු බැවින් නැවත සමාජ ගතවීමට අවස්ථාවක් ලබාදීම හා හානිපූර්ණය කිරීමට එකඟවීම යන කරුණු එකී දඬුවම් නියම කිරීමේදී සලකා බැලූ බවත් මහෙස්ත්‍රාත්වරයා සිය තීන්දුව නිකුත් කරමින් පෙන්වාදුන්නේය.

තමන් වෙත සේවා ලබාගැනීමට පැමිණි එකී නඩුවේ විත්තිකරු සමග දැඩි හිතවත්කමක් ඇතිකරගෙන තිබූ චූදිත නීතිඥවරයා පැමිණිලිකරු ස්ථාවර තැන්පතුවක් පවත්වාගෙන ගිය මූල්‍ය සමාගමෙන් ණය මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා තමන්ගේ ස්ථාවර තැන්පතුව ඇපයට තබා චූදිතට රුපියල් ලක්‍ෂ 100ක ණයක් පැමිණිලිකරු ලබාදී ඇති බවත් පැමිණිල්ලෙන් කියැවිණි.

චූදිත දිගින් දිගටම ණය මුදල ගෙවීම ප්‍රමාද කරනා විට කළ ඉල්ලීම් අනුව එකී චෙක්පත් ලබාදී ඇති බවත් පැමිණිල්ලෙන් වැඩිදුරටත් කියැවිණි.