
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සමඟ බෙලිඅත්තේ මිනීමැරුම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුකර යූටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ හඬපටයක් ප්‍රචාරණය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කොට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සැකකරුට වෙනත් අධිකරණවලින් විවෘත වරෙන්තු පනවා ඇති බැවින් වහාම එම අධිකරණ වෙත ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (22) නියෝග කළේය.
විවෘත වරෙන්තු හතරක් ඇතුළු වරෙන්තු හතක් ඇති සැකකරු සම්බන්ධයෙන් සිදුකළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන මාර්තු මස 06 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
සැකකරු ස්කයිප් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා මහනුවර, වැලිමඩ ඇතුළු අධිකරණවලින් වංචා නඩු සඳහා නිකුත් කර ඇති වරෙන්තු සඳහා ඔහු ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
සිය යූටියුබ් නාළිකාවේ ඔස්සේ මහජන ආරක්ෂක ඇමැතිවරයා සමඟ කළ සාකච්ඡාව උඩුගත කරමින් රටේ පවතින දේශපාලන ස්ථාවරත්වය අස්ථාවර කිරීමට කටයුතු කළේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ගනේගොඩවිතානගේ චාමර තරිදු මධුශංක යන අයකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරුට එරෙහිව කොටුව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සැකකරු ATM යන්ත්‍රයකින් වංචනික ලෙස රුපියල් 40,000ක් වංචා කිරීමේ සිද්ධියකට අධිකරණය මඟහැර සිටීම සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් වී ඇති බව අධිකරණයට දන්වා සිටියේය.
“මේ සිද්ධියේ දුරකතන සංවාදය පටිගත කළ මහමොළකරු වන ඉහත සැකකරු හිතාමතාම මෙය විකාශනය කර තිබෙනවා. සැකකාර පුද්ගලයා මේ දුරකතන සංවාදය පටිගත කළ එකක් බව දැන දැනම වෛරී චේතනාවෙන් යූටියුබ් නාළිකාව හරහා උඩුගත කර තිබෙනවා. ජනවාරි මස ලබාගත් සිම්පතක් හරහා මෙම දුරකතන සංවාදය පටිගත කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනවා. බෙලිඅත්තේ මිනීමරුවෝ අල්ලන්න බැහැ යැයි පවසමින් පෙර සූදානමකින් මෙය සිදු කළ බවට තහවුරු වී තිබෙනවා. මේ නිසා සමාජයේ රජය සහ පොලිසිය ගැන විශාල වෛරී සිතුවිල්ලක්, කැළඹීමක් ඇති වී තිබෙනවා. කැරැල්ලක් ඇති කරන අදහසින් ඔහු මේ දේ සිදු කර තිබෙනවා” යැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අරගල ක්‍රියාකාරී ප්‍රියත් නිකේෂල දැඩි ඇප කොන්දේසි මත මුදාහැර ඇත.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart