August 7, 2025

අභියාචනාධිකරණ නඩු ගොනුවක පිටු අනීතික ලෙස ඉරා ඉවත් කිරීම තුළින් නීතිඥ ආචාරධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඩබ්ලිව්.ඩී. ධර්මසිරි කරුණාරත්න නමැති නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (6දා) තීන්දු කළේය.

අභියාචනාධිකරණයේ ලේඛනාගාරයට පිවිස නඩු ගොනුවක් ලබාගෙන අනීතික ලෙස එහි පිටු දෙකක් ඉරා ඉවත්කර ඇති බවට එල්ල වූ චෝදනාවට තමා නිවැරැදිකරු බවට එම නීතිඥවරයා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පැවැති සාක්ෂි විභාගයක් අවසානයේ මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ කුමුදුනි වික්‍රමසිංහ, අචල වංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසිනි.

අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරි ඩබ්ලිව්.එස්.බී.එස්. ප්‍රනාන්දු විසින් මරදාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ නීතිඥවරයා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර 2023 වසරේ ජනවාරි මස 25 වැනිදා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරුණු බවත්, ඉන් අනතුරුව නීතිඥභාවය ඉවත් නොකිරීම සඳහා නිදහසට කරුණු දක්වන ලෙස දන්වා අධිකරණ සංවිධාන පනතේ 42(3) යටතේ නිකුත් කළ චෝදනා පත්‍රයට තමා නිවැරදිකරු බව ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබූ බවත් නඩු තීන්දුවේ සඳහන් වේ.

වගඋත්තරකාර නීතිඥවරයාද සාක්ෂි ලබාදීමේ අවස්ථාව දෙමින් සාක්ෂි විභාගයක් පවත්වා ඇත්තේ ඉන් අනතුරුවය.

ඉදිරිපත් වූ කරුණු මත තීන්දුව ප්‍රකාශයට පත්කළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අධිකරණ සංවිධාන පනතේ 40 වැනි වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිඥවරු ලෙස පිළිගෙන බඳවාගන්නේ හොඳ කීර්තියක් ඇති සහ දක්ෂ දැනුමක් සහ හැකියාවක් ඇති පුද්ගලයන් පමණක් බව මතක තබාගත යුතු යැයි පැවැසීය.

නීතිඥවරයකුට අපේක්ෂිත ප්‍රමිතිය පවත්වාගැනීමට නොහැකි නම්, එවැනි නීතිඥවරයකුට තවදුරටත් එම තනතුරේ කටයුතු කිරීමට අවසර දිය නොහැකි යැයිද, මෙම වතාවරණය මත වගඋත්තරකාර නීතිඥවරයාගේ ක්‍රියාකලාපය සමස්තයක් ලෙස මේ රටේ නීති වෘත්තියේ කීර්තිනාමයට කැළැලක් ඇති කර ඇති ආකාරය පෙන්වීමට තවදුරටත් හේතු දැක්වීම අවශ්‍ය යැයි තමා නොසිතන බවත් අගවිනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර තිබිණි.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව වගඋත්තරකාර නීතිඥවරයා අධිකරණ සංවිධාන පනතේ 42 වැනි වගන්තිය ප්‍රකාරව ඔහු වහාම නීතිඥභාවයෙන් ඉවත් කිරීමට නියෝග කරන බවත්, ඒ අනුව මෙම නියෝගය අනුව කටයුතු කර අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙසත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් එහි රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කරනු ලැබිණි.(මව්බිම)