October 22, 2025

2015 වසරේ ඉංජිනේරු පීඨයේ හොඳම ශිෂ්‍යයාට පිරිනමන ලද ‘මහාචාර්ය E.O.E. පෙරෙයිරා’ රන් පදක්කම, එම විශ්වවිද්‍යාලයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ උපදේශකයෙකු වන A.H. A.D. අබේසේකර වෙත පිරිනැමීමට පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිපාලනය ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කර ඇත.

මොරටුව පදිංචිකරුවකු සහ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක වන කල්පනා මානවඩු විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව, සෝභිත රාජකරුණා සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟතාවයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මෙම තීන්දුව ලබාදුන් බව වාර්තා වේ.

අනාගතයේදී මෙම රන් පදක්කම් ප්‍රදානය කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස්කරන ලෙස ද විනිසුරු මඩුල්ල විශ්වවිද්‍යාලයට නියෝග කර තිබේ.

පෙත්සම්කාරිය කියාසිටින්නේ, අදාළ රන් පදක්කම සඳහා වූ අයැදුම්පතක් තමා ඉදිරිපත් කළ බවයි.

පරිපාලනය පසුව ලකුණු ලබාදීමේ ක්‍රමය වෙනස් කර ඇති බව නිවේදනය කළ බවත්, පසුව ඇය නැවත අයැදුම්පත ඉදිරිපත් කළ බවත් පෙත්සම්කාරිය කියාසිටී.

කෙසේවෙතත්, විශ්වවිද්‍යාල පරිපාලනය විසින් අදාළ රන් පදක්කම විශ්වවිද්‍යාලයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ උපදේශකයෙකු වන ඒ.එච්. ඒ. ඩී. අබේසේකරට පිරිනැමීමට තීරණය කළ බව පෙත්සමේ සඳහන් වේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, මෙම රන් පදක්කම ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේදී විධිමත් හා විනිවිද පෙනෙන ලකුණු ලබාදීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කර නොමැති බව පෙනෙන බව විනිසුරු මඩුල්ල විසින් සඳහන් කෙරිණි.

මෙම ක්‍රියාව මගින් නීතිය ඉදිරියේ සමානව සැලකීමේ පෙත්සම්කරුගේ මූලික මානව අයිතිය උල්ලංඝනය කර ඇති බව ද විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළහ.

ඒ අනුව, අදාළ පදක්කම ඒ.එච්.ඒ.ඩී. අබේසේකරට පිරිනැමීමට විශ්වවිද්‍යාල පරිපාලනය ගත් තීරණය අහෝසි කරන බව අධිකරණය තීන්දු කළේය.

කෙසේවෙතත්, නියමිත කාලය ඉකුත් වී ඇති බැවින්, පෙත්සම්කරුට රන් පදක්කම ප්‍රදානය කිරීමට කිසිදු නියෝගයක් නිකුත් නොකරන බව තීන්දුවේ තවදුරටත් සඳහන් වේ.