October 25, 2025

උපපොලිස් පරීක්ෂකවරයකු විසින් මාස පහක් තුළ සිව් වතාවක් දූෂණය කරන ලදැයි කියන වෛද්‍යවරියක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ සතාරා හි දිස්ත්‍රික් රෝහලකදී බ්‍රහස්පතින්දා රාත්‍රියේ සියදිවි නසාගෙන තිබේ.

ඇගේ වම් අතේ තිබූ සටහනකින් තමන්ට ඇති වූ ශාරීරික හා මානසික හිංසනය සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබුණේ උපපොලිස් පරීක්ෂක ගෝපාල් බඩ්නේ වෙතයි.

ඔහුගේ නිරන්තර හිරිහැරය තමාට සියදිවි නසා ගැනීමට බල කළ බව ඇය සඳහන් කර තිබේ.

“පොලිස් පරීක්ෂක ගෝපාල් බඩ්නේ නිසා තමයි මම මැරුණේ. ඔහු මාව හතර වතාවක් දූෂණය කළා. ඔහු මාස ​​පහකට වැඩි කාලයක් මාව දූෂණයට, මානසික හා ශාරීරික හිංසනයට ලක් කළා,” යනුවෙන් සටහනේ සඳහන් විය.

බඩ්නේ මේ වනවිට වැඩ තහනමට ලක් කර ඇත.

ෆල්ටන් උප දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය නිලධාරිනියක ලෙස සේවය කළ වෛද්‍යවරිය ජුනි 19 වැනිදා ෆල්ටන් උප කොට්ඨාස කාර්යාලයේ නියෝජ්‍ය පොලිස් අධිකාරී වෙත යොමු කරන ලද ලිපියක ද එවැනිම චෝදනා සඳහන් කර තිබිණි.

සිය සියදිවි නසා ගැනීමට මාස කිහිපයකට පෙර යැවූ එම ලිපියෙන්, ෆල්ටන් ග්‍රාමීය පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හිරිහැර කළ බවට චෝදනා කළ අතර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස වෛද්‍යවරිය ඉල්ලා සිටියාය.

ඇය එම ලිපියේ බඩ්නේ, උප කොට්ඨාස පොලිස් පරීක්ෂක පටිල් සහ සහකාර පොලිස් පරීක්ෂක ලැඩ්පුත්‍රේ නම් කර තිබිණි.

ඇය “අධික ආතතියෙන් පෙළෙන බවත්, එබැවින් බරපතළ කාරණය විමර්ශනය කර වැරදිකරුවන්ට එරෙහිව සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත්” ඇය පැවසුවාය.

ප්‍රධාන අමාත්‍ය දේවේන්ද්‍ර ෆඩ්නවිස්ගේ නියෝගයක් මත බඩ්නේගේ වැඩ තහනම් කළ බව ආරංචි මාර්ග පැවසීය.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිදු වූ සියදිවි නසා ගැනීම සිකුරාදා ප්‍රාන්තයේ දේශපාලන ආරවුලක් ද ඇති කළේය.

සියදිවි නසාගැනීමේ සටහන සම්බන්ධයෙන් ප්‍රාන්ත කොංග්‍රස් නායක විජේ නම්දේව්රාඕ වඩෙට්ටිවර් පාලක මහයුති රජයට දොස් පැවරීය.

“ආරක්ෂකයා විලෝපිකයකු බවට පත් වූ විට! පොලිසියේ යුතුකම වන්නේ ආරක්ෂා කිරීමයි, නමුත් ඔවුන්ම වෛද්‍යවරියක් සූරාකන්නේ නම්, යුක්තිය ඉටු වන්නේ කොහොමද? මෙම තරුණිය මීට පෙර පැමිණිල්ලක් ගොනු කළත් කිසිදු පියවරක් නොගත්තේ ඇයි? මහායුති රජය නැවත නැවතත් පොලිසිය ආරක්ෂා කරනවා. එය පොලිස් අපරාධ වැඩි වීමට හේතුවක්,” යනුවෙන් ඔහු X හි සටහනක පැවසීය.

“මෙම නඩුවේ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. මෙම පොලිස් නිලධාරීන් ඔවුන්ගේ රැකියාවෙන් නෙරපා හැරිය යුතුයි, එසේ නොමැතිනම්, ඔවුන් විමර්ශනයට බලපෑම් කළ හැකියි. ඇයගේ පෙර පැමිණිල්ල බැරෑරුම් ලෙස නොසැළකුවේ ඇයි? එය නොසළකා හැරිය අය සහ මෙම පොලිස් නිලධාරීන් ආරක්ෂා කළ අය සම්බන්ධයෙන් පියවර ගත යුතුයි. පොලිසියට එරෙහිව පියවර ගන්නා තුරු, පොලිස් හිංසාවන් මැඩපැවැත්වෙන්නේ නැහැ,” යැයි ඔහු තවදුරටත් පැවසීය.

පාලක මහායුති පක්ෂයේ කොටසක් වන භාරතීය ජනතා පක්ෂය (BJP), වෛද්‍යවරියගේ සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් ගැඹුරු පරීක්ෂණයක් පවත්වන බවට සහතික විය.

“සිද්ධිය අවාසනාවන්තයි, මම ප්‍රදේශයේ පොලිස් අධිකාරීවරයාට කතා කළා. පළමු තොරතුරු වාර්තාවක් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතිනවා. එක් චූදිතයකු ප්‍රදේශයෙන් පිටත සිටින්නේ, ඔහු අත්අඩංගුවට ගැනීමට කණ්ඩායමක් යොමුකළා.. ඉක්මනින් චූදිතයා අත්අඩංගුවට ගනියි,” යැයි භාරතීය ජනතා පක්ෂ ව්‍යවස්ථාදායක සභා මන්ත්‍රීවරිය සහ රාජ්‍ය කාන්තා සභාපතිනි චිත්‍රා වාග් පැවසුවාය.

“වෛද්‍යවරිය පැමිණිල්ලක් ඉදිරිපත් කළ නමුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව අපගේ අවධානයට ලක්ව තිබෙනවා. නඩුව සම්බන්ධයෙන් සියල්ල විමර්ශනය කරනවා.. එවැනි අන්තවාදී පියවරක් ගැනීමට අවශ්‍ය නොවන බව මම සියලුම කාන්තාවන්ට කියනවා… අපගේ රජය උදව් කිරීමට සූදානම්,” ඇය තවදුරටත් පැවසුවාය.

ශිව්සේනා සමඟ පාලක සන්ධානයේ කොටසක් වන ජාතිකවාදී කොංග්‍රස් පක්ෂය ද චූදිතයාට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත කාන්තා කොමිසම ද සිද්ධිය සැළකිල්ලට ගත් අතර, වෛද්‍යවරියගේ පැමිණිල්ල සම්බන්ධයෙන් අක්‍රිය වීම පිළිබඳ විමර්ශනය කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇති බව පැවසීය.

“වින්දිත කාන්තාව මුහුණ දුන් හිරිහැර පිළිබඳව කලින් පැමිණිලි කළද උපකාර නොලැබුණේ මන්දැයි විමර්ශනය කරන ලෙසත් වගකිවයුත්තන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙසත් කොමිසම පොලිසියට උපදෙස් දී ඇත,” යනුවෙන් කොමිසම තවදුරටත් පැවසීය.