January 15, 2026

පාරිභෝගික කටයුතු අධිකාරියේ කළුතර දිස්ත්‍රික් නිලධාරීන් විසින් ඊයේ (14) රාත්‍රියේ බේරුවල ඉන්ධන පිරවුම්හලක් වටලා, පාරිභෝගිකයන්ට ලබා නොදී සඟවා තාගෙන සිටි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර් 6,400කට ආසන්න ප්‍රමාණයක් සොයා ගන්නා ලදී.

දිවයින පුරා ඇතැම් ඉන්ධන පිරවුම්හල් රාත්‍රී කාලයේ දී ඔක්ටේන් 92 පෙට්‍රල් තොග නොමැති බව පවසමින් යුරෝ 3 පෙට්‍රල් අලෙවි කරන බවට පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කරන ලදී.

පරීක්ෂාවේදී, අදාළ ඉන්ධන බෙදාහැරීමේ සමාගමේ නිලධාරීන් ඔක්ටේන් 92 පෙට්‍රල් නොමැති බව පවසමින් රාත්‍රියේ යුරෝ 3 පෙට්‍රල් අලෙවි කරන ලෙසට උපදෙස් දී ඇති බව අනාවරණ විය.

වැටලීමේදී ඉන්ධන පිරවුම්හල් කළමනාකාරිත්වය මෙම කරුණු අනාවරණ කළේය.

අත්අඩංගුවට ගත් ඉන්ධන තොගය නිල භාරයට ගෙන මුද්‍රා තබා ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.

හෙට දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතය.