June 6, 2025

වසර අවසන් වන විට ශ්‍රීලන්කන් ගුවන් සේවය තවත් ගුවන් යානා දෙකක් තම ගුවන් යානා ඇණියට එක් කිරීමට සැලසුම් කර ඇති බව එහි සභාපති සරත් ක්ලෙමන්ට් ගනේගොඩ CNA සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවය කෙටි, මධ්‍යම සහ දිගු කාලීන ඉලක්ක ගෙනහැර දක්වමින් පස් අවුරුදු උපායමාර්ගික සැලැස්මක් රජයට ඉදිරිපත් කර ඇති බව ද සභාපතිවරයා අනාවරණය කළේය.

“කෙටි කාලීනව, අපි මුදල් ප්‍රවාහය සහ ලාභදායීතාව මෙහෙයවීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර එය දිගු කාලීන තිරසාරභාවය සඳහා අත්‍යවශ්‍ය වනවා,” ඔහු පැහැදිලි කළේය.

“මධ්‍ය කාලීනව, අපි ස්ථාවරත්වය සහ වර්ධනය ඉලක්ක කර තිබෙනවා. ගුවන් යානා ඇණිය දෙගුණ කිරීම සහ අපගේ මාර්ග ජාලය පුළුල් කිරීම ඊට ඇතුළත්.”යැයි ඔහු පවසා ඇත.

ගුවන් සේවය දැනටමත් නව මාර්ග කිහිපයක් හඳුනාගෙන ප්‍රමුඛතාව දී ඇති බවත් එහි සේවකයන් 6,000ක් සහ ආහාර සැපයීමේ ක්ෂේත්‍රයේ තවත් 900ක් සමග ආඩම්බර විය හැකි සංවිධානයක් ගොඩනැගීමට කැපවී සිටින බවත් ගනේගොඩ අවධාරණය කළේය.