September 26, 2025

තිරසාර සංවර්ධනයට සහාය වීම සඳහා වඩාත් සාධාරණ අන්තර්ජාතික මූල්‍ය ව්‍යුහයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති ජයන්ත ජයසූරිය එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය.

ණය අර්බුදයෙන් ගොඩ ඒමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ද ඔහු ඉස්මතු කළේය.

“ශක්තිමත් ජාතික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් හරහා ණය අර්බුදය ජය ගැනීමට ශ්‍රී ලංකාව සැළකිව යුතු ප්‍රගතියක් ලබා තිබෙනවා. කෙසේවෙතත්, ණය සේවාකරණ පිරිවැය සෞඛ්‍ය, අධ්‍යාපනය සහ දේශගුණික අනුවර්තනය වැනි තීරණාත්මක අංශවලට තර්ජනයක් වෙමින් පවතිනවා,” යනුවෙන් තානාපති ජයසූරිය ප්‍රකාශ කළේය.

ඔරොත්තු දීමේ හැකියාව දේශීය උත්සාහයන් මත පමණක් රඳා පැවතිය නොහැකි බව ඔහු අවධාරණය කළ අතර, ගෝලීය ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ ගෝලීය ණය දත්ත ලේඛනයක් ස්ථාපිත කිරීම, මධ්‍යම ආදායම් ලබන රටවලට ණය ප්‍රතිකාර පුළුල් කිරීම, නව්‍ය ණය උපකරණ පුළුල් කිරීම සහ ආපදාවන් අතරතුර ණය සේවා අත්හිටුවීම සක්‍රීය කිරීම යන ප්‍රතිසංස්කරණවලට සහාය වන ලෙසයි.

තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා මූල්‍ය පරතරයන් පියවීමේ ප්‍රධාන පියවරක් වන, දළ ජාතික ආදායමෙන් 0.7%ක් නිල සංවර්ධන ආධාර සඳහා වෙන් කිරීම ඉටු කරන ලෙස ද තානාපති ජයසූරිය සංවර්ධිත ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය.

දේශගුණික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි අවදානමට ලක්විය හැකි රටවල් සඳහා තිරසාර දේශගුණික මූල්‍යකරණයේ හදිසි අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය.

ඔරොත්තු දෙන කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව සහ අනුවර්තන උත්සාහයන් සඳහා සහාය වීමට හරිත බැඳුම්කර සහ ණය හුවමාරු වැනි ක්‍රම වෙත ප්‍රවේශය ඔහු පෙන්වා දුන්නේය.

“දේශගුණික මූල්‍යකරණය සංවර්ධන මූල්‍යකරණයෙන් වෙනස් ලෙස හඳුනාගත යුතු අතර එමඟින් දෙකම අවදානමට ලක් වන්නේ නැහැ,” ඔහු පැවසීය.

තාක්‍ෂණය පිළිබඳ සඳහන් කරමින්, තානාපති ජයසූරිය ගැඹුරු වන අසමානතාවයේ අවදානම් පිළිබඳ අනතුරු ඇඟවූ අතර ඩිජිටල් පරතරය පියවීම සඳහා AI සහ නැගී එන තාක්ෂණයන් සඳහා ගෝලීය අරමුදලක් ඉල්ලා සිටියේය.

“අධ්‍යාපනය, සෞඛ්‍යය, දේශගුණික ක්‍රියාමාර්ග සහ යහපත් වැඩ මෙහෙයවීම සඳහා තාක්‍ෂණය ප්‍රජාවන් නඟා සිටුවිය යුතුයි,” ඔහු නිගමනය කළේය.