October 20, 2025

යුරෝපා සංගමය විසින් තිරසාරභාවයට අදාළ නීති හඳුන්වා දීමට පෙර, අපනයන වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් පලතුරු සහ එළවළු කාබනිකව වගා කිරීම ප්‍රවර්ධනය කිරීමේ පියවර වේගවත් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.

යුරෝපා සංගමය, එහි ගෝලීය තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස, ඉදිරි වසරවලදී තම වෙළඳපොළට කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කරන සමාගම් සහ පුද්ගලයන් තිරසාර ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවට නව නීති බලාත්මක කිරීමට සූදානම් වෙමින් සිටී.

මෙම නීති ක්‍රියාත්මක වූ පසු, ශ්‍රී ලංකාව වැනි රටවලට තම වෙළඳපොළ ප්‍රවේශය පවත්වා ගැනීමට සහ පුළුල් කිරීමට කාබනිකව නිපදවන ලද භාණ්ඩ මත වැඩි වශයෙන් විශ්වාසය තැබීමට සිදුවනු ඇත.

ඒ සඳහා ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳ අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ පවසා ඇත්තේ අපනයනය සඳහා කාබනික පලතුරු සහ එළවළු වගාව ශක්තිමත් කිරීම සඳහා තම කාර්යාලය දැනටමත් පියවර ආරම්භ කර ඇති බවයි.

“කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වත්මන් ගෝලීය වෙළඳපොළ අමෙරිකානු ඩොලර් බිලියන 150ක් පමණ වනවා. 2034 වන විට එය අමෙරිකානු ඩොලර් බිලියන 650 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. මෙම වර්ධනය වන වෙළඳපොළෙන් කුඩා කොටසක් හෝ ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීමට නම්, අප අපගේ කාබනික ගොවිතැන් අංශය සංවර්ධනය කළ යුතුයි. අපනයන සංවර්ධන මණ්ඩලය දැනටමත් මේ සම්බන්ධයෙන් මැදිහත් වී සිටිනවා,” යැයි ඔහු පැවසීය.

කාබනික නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුමෙන් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් යුරෝපා සංගම් රටවල් සහ එක්සත් රාජධානියෙන් ලැබෙන බව ඔහු සඳහන් කළේය.

ඔහුට අනුව, ශ්‍රී ලංකාවේ දැනට අපනයන අරමුණු සඳහා ඉඩම් අක්කර 70,000ක් පමණ කාබනිකව වගා කරන ගොවීන් 20,000ක් පමණ සිටිති.

අපනයන සංවර්ධනය සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම යටතේ අනාගතයේදී කාබනිකව වගා කරන ලද භූමි ප්‍රමාණය වැඩි කිරීමට තම කාර්යාලය සැලසුම් කර ඇති බව ඔහු පැවසීය.

කාබනික ගොවිතැන යනු කෘත්‍රිම යෙදවුම් භාවිතය අවම කරමින් ස්වභාවික ද්‍රව්‍ය සහ ක්‍රියාවලීන් භාවිත කරමින් ආහාර නිපදවන කෘෂිකාර්මික ක්‍රමයකි.

යුරෝපීය කොමිසම 2030 වන විට යුරෝපා සංගමයේ කෘෂිකාර්මික ඉඩම්වලින් සියයට 25ක් කාබනික ගොවිතැනට පරිවර්තනය කිරීමේ ඉලක්කයක් ද තබා ඇත.