August 19, 2025

ආහාර අනාරක්ෂිත අනුපාතය 24% සිට 16% දක්වා අඩු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙන බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ මෙරට නව නියෝජිත සහ දේශීය අධ්‍යක්ෂ පිලිප් වෝඩ්ට පවසයි.

නිල වශයෙන් සිය අක්තපත්‍ර ඉදිරිපත් කිරීමෙන් පසු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමඟ ඊයේ පැවති හමුවකදී ඔහු මෙම තොරතුරු සඳහන් කර තිබේ.

අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී, ජාතික සංවර්ධන ප්‍රතිපත්තියේ දක්වා ඇති ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතික ප්‍රමුඛතා අමාත්‍ය හේරත් පෙන්වා දී ඇත.

විශේෂයෙන් දරිද්‍රතාවය අඩු කිරීම, ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා සමාජ ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය ඔහු යොමු කළේය.

තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ රටේ ජනගහනයේ සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා ලෝක ආහාර වැඩසටහන සමඟ සමීපව කටයුතු කිරීමට රජයේ කැපවීම ඔහු තවදුරටත් අවධාරණය කළේය.

ඊට ප්‍රතිචාර වශයෙන් පිලිප් වෝඩ් තහවුරු කළේ, ලෝක ආහාර වැඩසටහන රටේ ජාතික ප්‍රමුඛතා සමඟ එහි ව්‍යාපෘති පෙළගස්වා ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහයෝගය දැක්වීමට කැපවී සිටින බවයි.