December 15, 2025

2024 වසරේ 15න් පහළ බාලිකා ‘ඒ’ කොටසේ අවසන් තරගය සහ 2025 වසරේ 17න් පහළ බාලිකා ‘ඒ’ කොටසේ අවසන් තරගය නොපැවැත්වූ බැවින්, සමස්ථ ලංකා බාලිකා පැසිපන්දු තරඟ සම්බන්ධයෙන් මේ වනවිට ආන්දෝලනාත්මක තත්වයක් උද්ගත වී තිබේ.

ඒ හමුවේ මෙම ක්‍රීඩිකාවන් වසරකට වැඩි කාලයක් තරග සඳහා සහභාගීවීමට අවස්ථාව හිමිනොවීම සම්බන්ධයෙන් කණස්සල්ල මතුව තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය විසින් සිදුකරන තරග කල්දැමීම හමුවේ වයස් කාණ්ඩ දෙකෙහිම අවසන් තරඟ දෙකටම සුදුසුකම් ලැබූ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සහ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ක්‍රීඩිකාවන්ට බරපතල අසාධාරණයක් සිදුවී ඇති බවට විදුහල්පතිවරු සහ මාපියෝ චෝදනා කරති

2024 දෙසැම්බර් මාසයේදී 15න් පහළ බාලිකා A කාණ්ඩයේ තරඟාවලිය අවසන් පූර්ව වටයට පිවිසි අතර, ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය සහ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගත්හ.

2024 දෙසැම්බර් 12 වන දින අවසන් මහා තරඟය පැවැත්වීමට නියමිතව තිබුණද, අධ්‍යාපන අමාත්‍යාංශයට ගැටළුවක් යොමුකිරීමෙන් පසු එය එදිනම කල්දමා තිබිණි.

විරෝධතා, කලාප සහ පළාත් තරඟාවලි සමඟ පැවැති මතවාද සහ ජාත්‍යන්තර තරග ඉසව්වක් සමඟ කාලසටහන්ගත කිරීමේ ගැටළුවක් හේතුවෙන් 2025 ජුනි මාසයේදී තරඟය නැවත පැවැත්වීම සඳහා ගත් උත්සහය ද ව්‍යාර්ථ වී තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස, 15න් පහළ A කාණ්ඩයේ අවසන් මහා තරඟය තවමත් පවත්වා නොමැත.

2025 දී 17න් පහළ බාලිකා A කාණ්ඩයේ තරඟාවලියේදී ද එවැනිම තත්වයක් ඇති වී තිබේ.

එම පාසල් දෙක අතර අවසන් මහා තරඟය 2025 නොවැම්බර් 20 වන දින සුගතදාස ක්‍රීඩාංගනයේදී නිල සමාප්ති උත්සවය අතරතුර පැවැත්වීමට නියමිතව තිබිණි.

සම්මාන ප්‍රදානෝත්සවය සැලසුම් කළ පරිදි සිදු වුවද, 1 වන අදියරේ අවසන් මහා තරඟය නොපැවැත්වීය.

අවසන් පූර්ව තරගයක් නැවත පැවැත්වීමට අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පැනනැඟුණු විරෝධතා හේතුවෙන් මෙම කල්දැමීම සිදු වූ බව වාර්තා වේ.

අද වන විට ඒ සම්බන්ධයෙන් නිල පැහැදිලි කිරීමක් නිකුත් කර නොමැති අතර අවසන් තරගය තවමත් පවත්වා නොමැත.

මෙම නැවත නැවත ප්‍රමාද වීම දෙමාපියන්, පාසල් බලධාරීන් සහ නිලධාරීන් අතර බරපතල කනස්සල්ලක් ඇති කර ඇති අතර, විශේෂයෙන් එකම ක්‍රීඩිකාවන්ගේ කණ්ඩායමක් අඛණ්ඩව වසර ගණනාවක් පුරා වයස් කාණ්ඩ දෙකෙහිම බලපෑමට ලක්ව ඇත.

දිගුකාලීන අවිනිශ්චිතතාව මානසික පීඩාවට හේතු වී ඇති බවත්, අධ්‍යයන කාලසටහන් සඳහා ඉන් බාධා එල්ල වී ඇති බවත්, මාස ගණනක දැඩි පුහුණුවෙන් පසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබුණු පිළිගැනීම අහිමි කර ඇති බවත් විදුහල්පතිවරු සහ මව්පියෝ චෝදනා කරති.