
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආන්දෝලනයට ලක්ව ඇති ආනයනික ගල්අඟුරු තොගයේ ප්‍රමිතිය පිළිබඳව වාර්තාවක් ලබාගැනීමට ගල්අඟුරු සාම්පල ඉන්දියාවට යොමුකර ඇති බවත් එම පරීක්ෂණ වාර්තා ලැබුණු පසු ගල්අඟුරු තොගයට මුදල් ගෙවීම පිළිබඳව තීරණය කරන බවත් බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පසුගිය සිකුරාදා (16දා) පැවසීය.
එම ගල්අඟුරු තොගය පිළිබඳ ඉන්දියානු රසායනාගාර පරීක්ෂණ වාර්තාව 16 වැනිදා ලැබීමට නියමිතව තිබුණ ද මේ දක්වා එය ලැබී නැති බව එම නිලධාරියා සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුව ලක්විජය විදුලි බලාගාරයේ විදුලි ජනනය සඳහා ආනයනය කළ ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර බව ද එම ගල් අඟුරු ආනයනයෙන් රජයට රුපියල් කෝටි දහසක පාඩුවක් වූ බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පාර්ලිමේන්තුවේදී හෙළිකිරීමත් සමග මෙම ගල්අඟුරු සිද්ධිය කරළියට පැමිණියේය.
බලශක්ති අමාත්‍ය, ඉංජිනේරු කුමාර ජයකොඩි එහිදී පැවසුවේ, මෙම චෝදනාව අසත්‍යයක් බවත් එම ගල්අඟුරු තොගයට මුදල් ගෙවා නොමැති බවත්ය.
ගල්අඟුරු තොගයේ ප්‍රමිතිය පිළිබඳව ලක්විජය බලාගාරය පැවැත් වූ පරීක්ෂණයේ ප්‍රතිඵලය මත ඒ සඳහා මුදල් ගෙවීම අත්හිටුවිය නොහැකි හෙයින් අන්තර්ජාතිකව අනුමත විද්‍යාගාරයක දී පරීක්ෂණයක් කළ යුතු බව ද ඇමතිවරයා ප්‍රකාශ කර තිබිණි.
අදාළ ගල්අඟුරු තොගය පිළිබඳව ලක්විජය බලාගාරය පැවැත්වූ පරීක්ෂණාගාර වාර්තා අනුව එහි තිබිය යුතු අළු ප්‍රමාණය හෙවත් විදුලිය නිපදවීමේ හැකියාව නියමිත ප්‍රමිතියෙන් නොවන බව අනාවරණය වී ඇති අතර, ගල්අඟුරුවල තිබිය යුතු අළු ප්‍රතිශතය සියයට 16ක් වන නමුත් මෙහි එම ප්‍රමාණය ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වේ.
එම පරීක්ෂණාගාරයේ පරීක්ෂණයට යොදාගත් සාම්පල හතරේම අළු ප්‍රතිශතය හෙවත් හීට් කන්ටෙන්ට් සියයට 20 ඉක්මවා ගොස් තිබේ.
විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය එම ගල්අඟුරු කිලෝවකින් නිපදවිය හැකි කිලෝ කැලරි ප්‍රමාණය 5,900ට වඩා අඩු බව වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.
බලශක්ති අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අදාළ ගල්අඟුරු ආනයනය කිරීම, නියමිත ටෙන්ඩර් පටිපාටියට අනුව කළ බවත් එහි කිසිදු අක්‍රමිකතාවක් සිදුවී නොමැති බවත්ය.
බලශක්ති අමාත්‍යාංශය එසේ පැවසුව ද මෙම ගල්අඟුරු තොගය ආනයනය කිරීමේ දී ආනයනකරුවන් කිහිපදෙනකුට වාසිදායක වන අයුරින් ලංකා කෝල් සමාගම කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වේ.(ඉරිදා ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart