May 13, 2025

දේශීය වෙළෙඳපොළේ ලුණු හිඟයක් පවතින බවට ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය කනස්සල්ල පළ කර ඇති අතර, ආනයනික තොග පැමිණීම ප්‍රමාද වීම ඊට හේතුව බව එම සංගමයේ සභාපති ගනක අමරසිංහ පවසයි.

රජය ලුණු මෙට්‍රික් ටොන් 30ක් ආනයනය කිරීමට අනුමැතිය ලබා දී තිබුණද, නැව්ගත කිරීම ප්‍රමාද වී ඇති බව හෙතෙම පෙන්වාදෙයි.

එහි ප්‍රතිඵලයක් ලෙස, වෙළෙඳපොළ තුළ හිඟයක් මතුවී ඇති අතර, ලුණු ලබා ගැනීමේ හැකියාව සහ මිල යන දෙකටම එම තත්වය බලපා තිබේ.

කෙසේවෙතත්, ප්‍රමාද වූ තොගය ඉක්මණින් රටට පැමිණීමට නියමිත බැවින්, ඉදිරි සතිය තුළ හිඟය විසඳෙනු ඇතැයි අපේක්ෂා කරන බව හෙතෙම සඳහන් කරයි.

මේ අතර, පාරිභෝගිකයන් සහ වෙළඳුන් ලුණු මිලෙහි තියුණු වැඩිවීමක් වාර්තා කර ඇති අතර, සමහර ප්‍රදේශවල ස්ඵටික ලුණු කිලෝග්‍රෑම් 1 ක පැකට් රුපියල් 450 ත් 500 ත් අතර මිලකට අලෙවි වන බව වාර්තා වේ.

මිල ඉහළ යාම පාරිභෝගිකයන් අතර කලකිරීමට හේතු වී ඇති අතර, ඔවුන්ගෙන් බොහෝදෙනෙක් සමාජ මාධ්‍ය වෙත අදහස් දැක්වීමට යොමු වී ඇත.

පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර තහවුරු කළේ, ලුණු මිල ඉහළ යෑම සම්බන්ධයෙන් අධිකාරියට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවයි.

පැමිණිලි විමර්ශනය කර තත්ත්වයෙන් අයුතු ලෙස ප්‍රයෝජන ගන්නා අයට එරෙහිව සුදුසු පියවර ගන්නා ලෙස වැටළීම් නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ඔහු පවසා ඇත.