May 31, 2025

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතර හමුවක් ඊයේ (30) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුව තිබේ.

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම වර්ෂයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට කැමැත්ත පළකර ඇති බව සාකච්ඡා ආරම්භ කරමින් ලෙවාන් එස්. ජගාරියන් පවසා ඇත.

එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ වැඩපිළිවෙල පිළිබඳව රුසියානු තානාපතිවරයා සිය ප්‍රසාදය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත පළකර ඇති අතර, ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ශක්තිමත් කරලීම සඳහා රුසියානු රජයේ සහාය අඛණ්ඩව ලබාදෙන බව ද ප්‍රකාශ කර ඇත.

නාස්තිය සහ වංචා දූෂණයෙන් තොර ජනතා හිතවාදි සෞඛ්‍ය සේවාවක් රට තුළ බිහිකිරීමේ සහ ආර්ථිකමය වශයෙන් රට ඉදිරියට ගෙන යෑමේ ආණ්ඩුවේ නව ප්‍රතිපත්තිය පිළිබඳව රුසියානු රජයේ ප්‍රශංසාව තානාපතිවරයා මෙහි දී පළකර තිබේ.

මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අංශයන්හි අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍යය සහාය ඉදිරියටත් නිබඳවම ලබාදෙන බව ද තානාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

මෙරට සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා රාජ්‍යයට ඉතා සාදරයෙන්, ගෞරවයෙන් පිළිගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙහි දී ප්‍රකාශ කර තිබේ.