September 12, 2025

මෙරට සිදුවන මරණවලට දෙවැනි ප්‍රධාන හේතුව රථවාහන අනතුරු බව පෙනීගොස් තිබේ.

මෙමගින් පෙනීයන්නේ ශ්‍රී ලංකාව දැඩි මාර්ග ආරක්ෂණ අර්බුදයකට මුහුණ දී සිටින බවයි.

2025 සැප්තැම්බර් 4 වැනිදා වන විට, මාරක අනතුරු 1872ක් වාර්තා වී තිබේ.

එහිදී වැඩි වශයෙන් අවදානමට ලක්ව ඇත්තේ පදිකයින්, බයිසිකල්කරුවන් සහ යතුරුපැදිකරුවන්ය.

ජාතික මාර්ග ආරක්ෂණ සැලැස්ම සහ මාර්ග ආරක්ෂාව සහ ප්‍රජා යහපැවැත්ම වැඩිදියුණු කිරීමේ අරමුණට අනුකූලව, මිචෙලින් ලංකා, ශ්‍රී ලංකා රතු කුරුස සංගමය සහ ශ්‍රී ලංකා පොලිසිය සමඟ හවුල්කාරිත්වයෙන්, මූලික ප්‍රථමාධාර සහ ආරක්ෂක රිය පැදවීම පිළිබඳ ඒකාබද්ධ පුහුණු වැඩසටහනක් දියත් කර තිබේ.

මෙම වැඩසටහන යටතේ මෙම වසරේ බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ රියදුරන් 500ක් පුහුණු කරනු ලබන අතර, ලබන වසරේ සිට දිවයින පුරා අනෙකුත් පළාත්වලට වැඩසටහන ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

මිචෙලින් හි අඛණ්ඩ ආයතනික සමාජ වගකීම් සහ තිරසාර ප්‍රයත්නවල කොටසක් ලෙස, මෙම වැඩසටහන මගින් අරමුණු කරන්නේ මාර්ග අනතුරුවලදී පළමු ප්‍රතිචාර දක්වන්නන් වන ත්‍රිරෝද රථ රියදුරන් අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක කුසලතාවලින් සන්නද්ධ කිරීමයි.

ප්‍රථමාධාර ශිල්පීය ක්‍රමවලට අමතරව, රියදුරන්ට ආරක්ෂිත රිය පැදවීමේ මූලධර්ම සහ ප්‍රතිලාභ පිළිබඳ පුහුණුව ලබා දෙනු ඇත.

එමඟින් ඔවුන්ට අවදානම් අපේක්ෂා කිරීමට සහ මාර්ගයේ ඇති විය හැකි අනතුරු වළක්වා ගැනීමට හැකි වේ.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අවධානයක් වන්නේ නීතිගරුක පුරවැසියන් ලෙස ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීයභාවය වැඩි දියුණු කිරීම සහ ප්‍රජාව තුළ ඔවුන් පිළිබඳ වඩාත් ධනාත්මක අවබෝධයක් ඇති කිරීමයි.

“ලෝකයේ ප්‍රමුඛතම ටයර් සමාගම සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයකු සහ අපනයනකරුවකු ලෙස, ආරක්ෂාව අපගේ නිෂ්පාදන සහ කාර්මික මෙහෙයුම්වල අන්තර්ගත මූලික වටිනාකමක්. මෙම කැපවීම මිචිලින් හි අපගේ කණ්ඩායමේ හැසිරීම්වලින් නිරූපණය වනවා. මෙම ව්‍යාපෘතිය හරහා, අත්‍යවශ්‍ය ආරක්ෂාව සහ ප්‍රථමාධාර පුහුණුව ලබා දීමෙන් ත්‍රිරෝද රථ රියදුරන්ගේ ප්‍රජාවට සහාය වීම අපගේ අරමුණයි. ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු මරණ අවම කිරීම සඳහාත් ආරක්ෂාව සඳහාත් සහාය වෙන්න ලැබීම අපට ගෞරවයක්” යැයි මිචිලින් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ අතුල් රෙනවිකර් පැවසීය.

“ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මෙම වැඩසටහන කාලෝචිත හා අත්‍යවශ්‍ය දෙයක් ලෙස සළකනවා. ප්‍රජා සේවයේ පෙරමුණේ සිටින මානුෂීය සංවිධානයක් ලෙස, ජීවිතාරක්ෂක ප්‍රථමාධාර දැනුම රට පුරා ප්‍රවර්ධනය කිරීමට සහ ව්‍යාප්ත කිරීමට අපි කැපවී සිටිනවා. අපගේ මානුෂීය වගකීමට අනුකූලව, මාර්ග ආරක්ෂාව ශක්තිමත් කරන සහ ප්‍රජා යහපැවැත්ම වැඩි දියුණු කරන ප්‍රථමාධාර පුහුණුවක් හරහා මෙම වැඩසටහනට සහාය වීමට හිවීම ගැන අපි සතුටු වනවා,” යනුවෙන් ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මහේෂ් ගුණසේකර පැවසීය.

“ත්‍රිරෝද රථ ප්‍රජාව තුළ විශ්වාසය, ආරක්ෂාව සහ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමේ අර්ථවත් වැදගත් පියවරක් සනිටුහන් කරන නිසා, මෙම තිරසාර මුලපිරීම වැනි රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතා උත්සාහයන් අපි සාදරයෙන් පිළිගන්නවා. මාර්ග අනතුරු අඩු කිරීම යනු ක්‍රියාත්මක කිරීම පමණක් නෙවෙයි. අධ්‍යාපනය, වගකීම සහ මහජන ආරක්ෂාව ගැන සැළකිලිමත් වන හවුල්කරුවන් සමඟ එක්ව වැඩ කිරීමත් ඊට සම්බන්ධයි,” යැයි පොලිස් රථවාහන පරිපාලනය සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පැවසීය.