August 3, 2025

ඉදිරි මාසයේදී වාහන සඳහා ඇති ඉල්ලුම ඉහළ මට්ටමක පැවතුණහොත් සහ එය රටේ විදේශ සංචිතවලට බලපාන්නේ නම්, ඉදිරි අයවැයේදී වාහන ආනයන සහ ඒ වෙනුවෙන් සැපයෙන මූල්‍ය පහසුකම් සඳහා බදු වැඩි කිරීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයට සළකා බැලීමට සිදුවනු ඇතැයි භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාකර තිබේ.

එම ලිපියට අනුව මෙම වසරේ පෙබරවාරි මාසයේදී වාහන ආනයනය සඳහා වූ සීමාවන් ඉවත් කළ දා සිට මෝටර් රථ ආනයනකරුවන් අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ණයවර ලිපි විවෘත කර ඇත.

ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 550ක් වටිනා ණයවර ලිපි මේ වන විට නිෂ්කාශනය කර ඇති අතර අනෙක් ඒවා නිෂ්කාශනය බලාපොරොත්තුවෙන් සිටී.

“මේ වන විට අපගේ විදේශ සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 6ක පමණ ස්ථාවරව තිබෙනවා, නමුත් වාහන ආනයන මෙයට බලපාන්නේ නම්, යම් සීමාවන් පැනවීම සහ ආනයන අධෛර්යමත් කිරීමට පියවර ගැනීම පිළිබඳ අපට සොයා බලන්න වෙයි,” යනුවෙන් අදාළ නිලධාරියා පවසා තිබේ.

ශ්‍රී ලංකාව IMF වැඩසටහනේ සිටින තාක් කල්, වාහන ආනයන සඳහා කිසිදු තහනමක් හෝ සීමාවක් පැනවිය නොහැකි බවත් ආනයන අධෛර්යමත් කිරීමට පියවර ගැනීමට පමණක් හැකි බවත් ඔහු තවදුරටත් පවසා ඇත.

නොවැම්බර් මාසයේ අයවැය ආසන්න වූ විට ඒ පිළිබඳ තීරණයක් ගනු ඇති බව ඔහු පැවසීය.

මේ වසරේ පෙබරවාරි මාසයේ සිට අමෙරිකානු ඩොලර් මිලියන 300කට අධික වියදමකින් පෞද්ගලික භාවිතය සඳහා වාහන 30,000ක් පමණ මෙරටට ආනයනය කර ඇත.

අපනයන, ප්‍රේෂණ සහ සංචාරක කටයුතු හේතුවෙන් විදේශ විනිමය ගලා ඒම ස්ථාවරව පවතින බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබේ.