September 12, 2025

වැවිලි කර්මාන්තයේ වර්ධනය ඉහළ නැංවීමට සහ සේවක ආදායම් ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය බව පවසමින් තෙල් පාම් වගාව සඳහා පනවා ඇති තහනම වහාම ආපසු හරවන ලෙස ලංකා වැවිලිකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

2021 දී රජය විසින් තෙල් පාම් වගාව සඳහා හදිසි තහනමක් පැනවීමෙන් පසුව, වරක් මෙරට වටිනාම උපායමාර්ගික විවිධාංගීකරණය ලෙස සළකනු ලැබූ මෙම ලාභදායී බෝගය ප්‍රතිපත්තිමය නොගැළපීමේ සංකේතයක් බවට පත්ව ආර්ථික අවස්ථාව අහිමිකර ගත්තේය.

තෙල් පාම් වගාව ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ 1968 දීය.

නමුත් 2000 දශකයේ මුල් භාගයේදී කලාපීය වැවිලි සමාගම් පාඩු ලබන රබර් සඳහා විකල්ප සොයන විට පමණක් මෙම වගාවට ආකර්ෂණය වීමට පටන් ගත්තේය.

මෙම බෝගයේ අවස්ථා හඳුනාගනිමින්, එවක රජය 2009 දී නව තෙල් පාම් වගාවන් සඳහා බදු සහන දීර්ඝ කිරීමට පොරොන්දු වූ අතර, 2016 වන විට හෙක්ටයාර 20,000 දක්වා වතු ව්‍යාප්ත කිරීම විධිමත් ලෙස අනුමත කළේය.

එවක රජයෙන් ලැබුණු මෙම ප්‍රබල ධනාත්මක සංඥාවලින් දිරිමත් වූ වටවල, නමුණුකුල, ඇල්පිටිය, අගලවත්ත, හොරණ, කෑගල්ල, මල්වත්ත නිම්නය සහ කොටගල වැනි වැවිලි සමාගම් තවාන්, ඇඹරුම් පහසුකම් සහ පර්යේෂණ සඳහා බිලියන ගණනක් ආයෝජනය කරන ලදී.

ශ්‍රී ලංකාවේ දශක හයකට ආසන්න කාලයක් තෙල් පාම් වගාව සෘණාත්මක පාරිසරික බලපෑම් පිළිබඳ සැළකිව යුතු ලේඛන නොමැතිව වුවද, තෙල් පාම් වගාව ව්‍යාප්ත කිරීම විවිධ පාර්ශවයන්ගෙන් නිරන්තර විරෝධයට මුහුණ දුන් බව සංගමය සඳහන් කළේය.

2021 තහනම දැනටමත් රුපියල් මිලියන 550කට අධික බීජ පැළ විනාශ කිරීමට හේතු වී ඇති අතර, තවාන් සම්පූර්ණයෙන්ම කපා හැර ඇති බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පැවසීය.

මීට අමතරව, ප්‍රතිපත්ති ආපසු හැරවීම හේතුවෙන් වැවිලි, මෝල් සහ ක්ෂේත්‍රය පුරා අනාගත ආදායම ඇතුළුව ආසන්න වශයෙන් රුපියල් බිලියන 23ක ආයෝජන බරපතළ අවදානමකට ලක්ව ඇති අතර, ඒ සියල්ලට කිසිදු ආකාරයක වන්දියක් නොමැත.

“මෙය විශේෂයෙන් හානිකර වූයේ පාම් ඔයිල් මෙම අංශයේ වඩාත්ම ලාභදායී බෝගය වූ නිසයි. එය සාමාන්‍ය ශුද්ධ ආන්තිකය 49%ක් ලබා දුන් අතර සමහර අවස්ථාවල RPC ලාභයෙන් අඩකට වඩා දායක වුණා. හදිසි තහනම ලාභදායීතාව කප්පාදු කර, ආයෝජක විශ්වාසය අඩු කර, කර්මාන්තයේ වරක් සමෘද්ධිමත් වූ කොටසක් අඩපණ කර තිබෙනවා,” යනුවෙන් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මහලේකම් ලලිත් ඔබේසේකර පැවසීය.

සෘජු රැකියා 5,000කට වැඩි ප්‍රමාණයක් සහ එමහින් යැපෙන ජීවනෝපායන් 21,000ක් මෙම අංශයට බැඳී ඇති බවත්, තෙල් පාම් කම්කරුවන් තේ සහ රබර්වල ඔවුන්ගේ සගයන්ගේ වැටුප් මෙන් දෙගුණයකට ආසන්න ආදායමක් උපයන බවත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

දරිද්‍රතාව ගැඹුරින් මුල් බැසගත් කලාපවල ස්ථාවර ආදායම් මාර්ගයක් සපයන වතු නිවාස සඳහා මෙම කර්මාන්තය වාර්ෂිකව රුපියල් බිලියන 2.5කට වඩා දායක වී ඇත.

එහි හදිසි නැවැත්වීම මගින් ජාතික ආර්ථිකය පීඩනයට ලක්ව ඇති අවස්ථාවක බොහෝ පවුල් මූල්‍ය අනාරක්ෂිතභාවයට තල්ලු කර ඇත.

මෙම බලපෑම් කර්මාන්ත පුරා ද දැනී ඇත.

ආහාරයට ගත හැකි තෙල්වල වාර්ෂික පරිභෝජනය මෙට්‍රික් ටොන් 264,000ක් පමණ වන නමුත් දේශීය නිෂ්පාදනය මෙම ඉල්ලුමෙන් හතරෙන් එකක් පමණක් සපුරාලයි.

මෙම හිඟය ආනයන හරහා පියවා ගන්නා අතර, අහිමි වූ සංචිත සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 35ක් වැය වන බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පැවසීය.

ප්‍රතිපත්තිය සාධාරණීකරණය කිරීම සඳහා බොහෝ විට භාවිත කරන පාරිසරික ගැටළු, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැළකීමේදී බොහෝ දුරට අස්ථානගත වී ඇති බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය තර්ක කරයි.

ගෝලීය වශයෙන්, පාම් තෙල් වඩාත් කාර්යක්ෂම තෙල් බෝගයක් ලෙස පිළිගැනෙන අතර, එළවළු තෙල්වලින් 40%ක් නිෂ්පාදනය කරන්නේ භූමියෙන් 6%ක් පමණි.

මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් තිරසාර පාම් තෙල් පිළිබඳ වටමේස (RSPO) සහ ඉන්දුනීසියානු තිරසාර පාම් තෙල් (ISPO) සහතික කිරීම්, කුඩා වතු හිමියන් ඒකාබද්ධ කිරීම සහ ශුන්‍ය අපද්‍රව්‍ය තාක්ෂණයන් වැනි තිරසාර ප්‍රමිතීන් ක්‍රියාත්මක කරන අතරම වගාව වැළඳගෙන ඇත.

ශ්‍රී ලංකාවේ, තෙල් පාම් ප්‍රධාන වශයෙන් වගා කරන ලද්දේ දැනටමත් ආර්ථික චක්‍රය සම්පූර්ණ කර ඇති පැරණි රබර් ඉඩම්වල මිස කන්‍යා වනාන්තරවල නොවේ.

නිවැරදි නියාමන රාමුවක් සහ ගෝලීය හොඳම පිළිවෙත් සඳහා කැපවීමෙන්, ශ්‍රී ලංකාවට පාරිසරික සම්මුතියකින් තොරව තිරසාර පාම් තෙල් අංශයක් සංවර්ධනය කළ හැකිය.