
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකළ වකුගඩු සැත්කමකදී නරක්වූ වකුගඩුව මෙන්ම නිරෝගී වකුගඩුව ද ඉවත් කිරීම නිසා වයස අවුරුදු තුනක පිරිමි දරුවකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විදේශගත වී ඇතැයි කියන වෛද්‍යවරුන් දෙදෙනා කැඳවා ප්‍රකාශ ලබාගෙන විමර්ශන සිදුකරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඊයේ (21) බොරැල්ල පොලිසියට නියෝග කර තිබේ.
එකී විමර්ශන සඳහා වැඩිදුර නියෝග අවශ්‍ය නම් විධිමත් ආකාරයෙන් තම අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලෙසට ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත.
2022.12.24 වැනිදා සිදුකළ වකුගඩු සැත්කමින් අනතුරුව හටගත් සංකූලතා නිසා ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී 2023.7.28 වැනිදා මුහම්මදු හම්දි ෆස්ලීම් නමැති වයස අවුරුදු තුනයි මාස තුනක් වූ පිරිමි දරුවකු මියගොස් තිබිණි.
එම දරුවාගේ මරණය ස්වාභාවික මරණයක් නොව වෛද්‍යවරුන් නිරෝගී වකුගඩුවක් ඉවත් කිරීම නිසා සිදුවූවක් බවත්, එය මිනීමැරීමක් ලෙස අර්ථ දැක්විය හැකි බවත්, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණයට පවසා තිබේ.
යහපත් තත්ත්වයෙන් තිබූ එම වකුගඩුව යම්කිසි පාර්ශ්වයකට අලෙවි කළේ දැයි යන සාධාරණ සැකය ද අගතියට පත් පාර්ශ්වයට ඇතැයි ද අධිකරණයට පැවසූ ජනාධිපති නීතිඥවරයා, ශල්‍යකර්මයෙන් පසුව එම රෝහලේ සේවය කළ වෛද්‍යවරුන් දෙදෙනකු රටින් පළාගොස් ඇති මුත් ඒ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය මේ දක්වා විධිමත් විමර්ශනයක් සිදුකර නොමැති බවද අධිකරණයට පවසා ඇත.
එම දරුවාගේ මරණය සම්බන්ධයෙන් දෙමාපියන් පැමිණිල්ලක් කර ඇති දැයි අතිරේක මහේස්ත්‍රාත්වරයා බොරැල්ල පොලිසියෙන් විමසා සිටි අතර එවැනි පැමිණිල්ලක් ලැබී ඇති බවත්, අධිකරණය විසින් නියෝගයක් කරන්නේ නම් එම වෛද්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ හැකි බවත්, පොලිස් නිලධාරීහු අධිකරණයට පවසා තිබේ.
යම්කිසි අපරාධයක් සිදුවී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති විටෙක ඒ සඳහා විමර්ශන කිරීමට පොලිසියට අධිකරණයේ නියෝග අවශ්‍ය දැයි විමසූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, අපරාධයක් සිදුකර විදේශ රටකට පැනගොස් සිටීමට ඉඩදී පොලිසිය නිහඬව සිටින්නේ දැයි විමසා ඇත.
එම නඩුව ලබන මාර්තු 27 වැනිදා යළි කැඳවීමට ද අතිරේක මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබේ. (දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart