May 4, 2025

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාමය බලා ඊයේ (03) දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක අද (04) පෙරවරුවේ වියට්නාමයේ නෝයි බායි අන්තර්ජාතික ගුවන් තොටුපළට (Noi Bai International Airport) ළඟාවිය.

එහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිස වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටු සාමාජිකයකු සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය න්ගුයෙන් මන් කුඕං (Nguyen Manh Cuong) ඇතුළු රාජ්‍ය නියෝජතයන් විසින් හරසරින් යුතුව පිළිගනු ලැබිණි.

මෙම පිළිගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති වන ට්‍රින් තී ටැම් (Trinh Thi Tam), වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති පෝෂිත පෙරේරා යන ය සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිතයෝ පිරිසක්ද සහභාගි වූහ.

අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක, හනෝයි හි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස්ථානයේදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් ( Tô Lâm) හමුවීමට නියමිතය.

හෙට (05) දිනයේදී ජනාධිපතිවරයා, වියට්නාම් ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවන්හි නිරත වීමටද නියමිතය.