January 10, 2026

දීර්ඝ කාලයක් තිස්සේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවත් දෙමව්පියන්ට බරක් දරුවන්ට දුකක් වූ අධ්‍යාපන ක්‍රමය තුළ සිදු කරන වෙනස්කම් හැකිලීමට කවුරුන් උත්සාහ කළත් එහි වෙනසක් සිදුකරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ අවධාරණය කළේය. ආපදා ව්‍යසනයෙන් හානියට පත්වූ නිවාස සඳහා වන්දි ප්‍රදානයත් නිවාස ඉදිකිරීම ඇරඹීමත් සිදු කරමින් ගල්නෑව හා රාජාංගණය ප්‍රදේශවල පැවැති වැඩසටහන්වල සමාරම්භක අවස්ථාවන්ට එක්වෙමින් ඔහු මේ බව කීය.

“දීර්ඝ කාලයක් අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය පිළිබඳ අපි කවුරුත් සෑහීමකට පත්වන්නේ නැහැ. මෙය දෙමව්පියන්ට බරක් සහ දරුවන්ට දුකක් වූ අධ්‍යාපන ක්‍රමයක්. අධ්‍යාපන ක්‍රමය සාර්ථකයි නම් අපිට මීට වඩා හොඳ ප්‍රතිඵල ලැබෙන්න තිබුණා. අධ්‍යාපනඥයන් විසින් කාලාන්තරයක් තිස්සේ මේ අධ්‍යාපන ක්‍රමයේ නව වෙනසක් පිළිබඳ සාකච්ඡා කළා. අපි ඒ අලුත් වෙනසට අත තබා තිබෙනවා. හැබැයි ඊට විවිධ අවලාද, අසත්‍ය පතුරවමින් කිසිදු පදනමක් නැති කරුණු කියන්න පටන්ගෙන තිබෙනවා. අපේ අභිප්‍රාය වන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. ඒ වගේම දුප්පත්කමේ විෂම චක්‍රයෙන් ගොඩ ඒමට තිබෙන මාවත දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. ඒ නිසා ජාත්‍යන්තරව පිළිගත් ගුණාත්මක හොඳ අධ්‍යාපනයක් අපේ දරුවන්ට ලබාදිය යුතුයි. කවුරු මොන විදියට එම වෙනස්කම් හැකිළීමට උත්සාහ ගත්තද අපි ඒ වෙනස්කම් ඇති කරනවා.” ජනාධිපතිවරයා අවධාරණය කළේය.

2026 වසර ලංකා ඉතිහාසයේ රාජ්‍ය අනුග්‍රහයෙන් වැඩිම නිවාස සංඛ්‍යාවක් ඉදිකෙරෙන වසර බවට පත්වනු ඇති බව ජනපති අනුර කුමාර දිසානායක පැවසීය.

ව්‍යසනයෙන් පසු ආසන්න වශයෙන් නව නිවාස 20,000 – 25,000ක් අතර ප්‍රමාණයක් ඉදිකර දීමට සිදු වන බවත්, නිවාස සංවර්ධන අධිකාරිය යටතේ මීට පෙර සැලසුම් කර තිබූ නිවාස 31,000ක් සමඟ නව නිවාස 50,000 – 55,000ක් අතර ප්‍රමාණයක් මේ වසරේදී ඉදිවනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ, ‘Rebuilding Sri Lanka’ යටතේ ආපදාවෙන් පූර්ණ හානි සිදුවූ නිවාස සඳහා වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකර දීමේ PROJECT 5M වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ඊයේ (09 දා) පෙරවරුවේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල වසමේ, අලුබද්ද ගම්මානයේදී එක්වෙමිනි.

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ පුද්ගලයන්ට නිවාස ඉදිකර දීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ ආපදාවෙන් පූර්ණ ලෙස නිවාස අහිමි වූ නැවත එම ස්ථානයේම නිවාස ඉදිකළ හැකි පවුල් වෙනුවෙන් නිවාස ඉදිකරදීම සිදු කෙරෙන අතර ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, පලාගල, පලුගස්වැව, ඉපලෝගම, තිරප්පනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ව්‍යසනයෙන් පූර්ණ හානි සිදුවූ එම ස්ථානයේම නිවස ඉදිකරගත හැකි බවට තත්ත්ව සහතික ලද නිවාස 26ක් වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවසක වැඩ ආරම්භ කිරීම මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මෙවැනි විශාල වන්දි ලබා දෙමින් ජනතාව බලාගැනීමට පාලකයන් මැදිහත් නොවු බව මෙහිදී පෙන්වාදුන් ජනාධිපතිවරයා වත්මන් රජය ජනතාව බලාගත යුතු බවට තීන්දු කළ රජයක් බවත්, ව්‍යසනයට මුහුණ දුන් ජනතාවට තිබුණාට වඩා උසස් ජීවන තත්ත්වයක් ගොඩනඟා දීමට නියත වශයෙන්ම කටයුතු කරන බවත් අවධාරණය කළේය.

එසේම ජනතාවට හොඳ ජීවන තත්ත්වයක් ලබා දීමට නම් හොඳ ආදායමක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, නිරෝගී සම්පන්න ජීවිතයක් සහ හොඳ නිවසක් මෙන්ම මානසික සුවය අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කරුණු 05 ඉටු කරදීම වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන බවද අවධාරණය කළේය.