
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ණය අර්බුදයකින් සහ දේශගුණික විපතකින් පීඩාවට පත් ආර්ථිකය ස්ථාවර කිරීමට රට ගන්නා උත්සාහයේ දී රජය ලබා දෙන ප්‍රමුඛතා සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක අමෙරිකානු නිව්ස්වීක් ප්‍රවෘත්ති සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකදී හෙළිකර තිබේ.
ප්‍රගතිය සඳහා නැවත නැවතත් පසුබෑම් ඇති කරන චක්‍රය බිඳ දැමීම විශාලතම අභියෝගය බව ඔහු සඳහන් කර ඇත.
“අපගේ විශාලතම අභියෝගය වන්නේ එක මත එක පතිත වන අර්බුද සමඟ කටයුතු කරන අතරතුර තිරසාර හා සාධාරණ සංවර්ධනයක් අත්කර ගැනීමයි. අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කළා. පසුව දිට්වා සුළි කුණාටුව ආවා. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අපට හැකි වුවත් අපගේ ආර්ථිකය තවමත් බිඳෙන සුළුයි. දැන් මිලියනයකට අධික ජනතාවක් ව්‍යසනයෙන් පීඩාවට පත්ව සිටිනවා. සෑම ජයග්‍රහණයක්ම තාවකාලික වැඩ කියන චක්‍රයෙන් ඔබ්බට යා යුතුයි. ශ්‍රී ලංකාව ඔරොත්තු දෙන රටක් සහ ඒ සඳහා හැකියාව ඇති බව අප ඔප්පු කළ යුතුයි ,” ජනාධිපති දිසානායක නිව්ස්වීක් වෙත පැවසීය
භූ දේශපාලනික සබඳතා සම්බන්ධයෙන් ජනාධිපති දිසානායක පැවසුවේ ශ්‍රී ලංකාව ප්‍රධාන හවුල්කරුවන් සමඟ වැඩ කිරීමට ස්වාධීනත්වය රඳවා ගන්නා නමුත් එම සබඳතා තුලනය කිරීමේ ක්‍රියාවක් ලෙස සකස් නොකරන බවයි.
ඉන්දියාව සමඟ රටේ සබඳතා ගැඹුරු සහ ඓතිහාසික බවත්, චීනය උපායමාර්ගික ආර්ථික හවුල්කරුවකු ලෙස පවතින බවත්, එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළඳපොළ බවත් ඔහු පැවසීය.
“ඉන්දියාව අපගේ සමීපතම අසල්වැසියා සහ පළමු ප්‍රතිචාර දක්වන්නායි. චීනය ශක්තිමත් ආර්ථික හා දේශපාලන හවුල්කරුවෙක්. එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරු සබඳතා සහ බෙදාගත් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් තිබෙනවා. මෙම වැදගත් රටවල් සමඟ අපගේ සබඳතා අපි තුලනය කිරීමක් ලෙස සළකන්නේ නැහැ. අපගේ සෑම සම්බන්ධතාවක්ම අපට වැදගත්.” යනුවෙන් ඔහු පැවසීය.
“අපට දේශගුණික මූල්‍ය සහාය අවශ්‍යයි. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අපට ඩොලර් බිලියන ගණනක් අහිමි වුණා. පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, ඔරොත්තු දෙන යටිතල පහසුකම් සහ වෙරළබඩ ආරක්ෂාව සඳහා අපට ප්‍රදාන අවශ්‍යයි. ඩිජිටල් යටිතල පහසුකම්, නිෂ්පාදනය සහ පුනර්ජනනීය බලශක්තිය සඳහා එක්සත් ජනපද සමාගම් අපේ රටේ ආයෝජනය කිරීම අපට අවශ්‍යයි. අපි පිරිනමන්නේ ඉන්දු පැසිෆික් කලාපයේ උපායමාර්ගිකව ස්ථානගත කර ඇති, ස්ථාවර, ප්‍රජාතන්ත්‍රවාදී හවුල්කරුවෙක්.” යැයි ජනාධිපතිවරයා පැවසීය.
ණය තිරසාරභාවය පිළිබඳව, දිසානායක පැවසුවේ ණය ආපසු ගෙවීමෙන් පසු යථා තත්ත්වයට පත්වීම දේශගුණික බලපෑම් සමඟ මේ වනවිට ගැටී ඇති බැවින් ඒ හා සම්බන්ධ අන්තර්ජාතික රාමු පරිණාමය විය යුතු බවයි.
“දේශගුණික විපත්වලින් නැවත ගොඩනැගෙන්න අපට සිදු වෙනවා. දේශගුණික විපර්යාසයන්ට ගොදුරු විය හැකි රටවල් සඳහා ණය තිරසාරභාවය පිළිබඳ රාමු වෙනස් විය යුත්තේ ඒ නිසයි. අපි රජයේ ආදායම වැඩි කරමින්, ඩිජිටල්කරණය හරහා අපගේ බදු පදනම පුළුල් කරමින් සහ සමාජ වියදම් ආරක්ෂා කරමින් සිටිමු. සියල්ල අහිමි වූ ජනතාව මත කප්පාදු පැනවිය නොහැක.”
නිවාස නැවත ගොඩනැගීම, කෘෂිකර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සහ ඉලක්කගත සහනාධාර පවත්වා ගැනීම ඇතුළුව දිට්වා සුළි කුණාටුව මගින් සකස් කරන ලද දේශීය සහන න්‍යාය පත්‍රය ඔහු මෙම සාකච්ඡාවේදී ගෙනහැර දැක්වීය.
මෙම පියවර මගින් IMF පරාමිතීන් තුළ රැඳී සිටියදී දෘශ්‍යමාන සහන ලබා දීම සඳහා රජය අපේක්ෂා කරන බව ඔහු පැවසීය.
ආයෝජන සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාව දිගුකාලීන ආයෝජක ගැටළු සපුරාලීම සඳහා පුරෝකථනය කළ හැකි නීති සහ ආයතන ක්‍රියාත්මක කරමින් සිටින බව ජනාධිපති දිසානායක පැවසීය.
“අපි පැහැදිලි නිර්ණායක සහිත විනිවිද පෙනෙන, නීති රීති මත පදනම් වූ ඇගයීමක් ස්ථාපනය කරමින් සිටිමු. විදේශීය ආයෝජකයන්ට පැහැදිලිකම, අනුකූලතාව සහ විශ්වාසය අවශ්‍යයි. අපි එක තැනකින් අනුමත කිරීමේ කටයුතු කළ හැකි පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා. අපි නව ආයෝජන ආරක්ෂණ පනතක් කෙටුම්පත් කරමින් සිටින්නේ. දේශීය අය සඳහා විශේෂ සැළකිල්ලක් නැහැ. කුසලතා සහ ජාතික ප්‍රතිලාභ මත අනුමැතිය ලබා දෙනවා.” යනුවෙන් ඔහු පැහැදිලි කළේය.
හම්බන්තොට සහ වරාය නගරය ඇතුළු දිගුකාලීන චීන යටිතල පහසුකම් ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සඳහන් කළේ, මේවා ආර්ථික වටිනාකම සහ ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා කළමනාකරණය කළ යුතු වාණිජ යථාර්ථයන් බවයි.
“හම්බන්තොට වරාය විනිවිදභාවයෙන් ක්‍රියාත්මක වනවා. අපගේ නාවික හමුදාව සහ රේගුව පාලනය යටතේ පවතින්නේ. බදු දීම වාණිජමය නැතුව මිලිටරිමය ආකාරයට සිදුවෙලා. වරාය නගරය වාණිජ සංවර්ධනයක්. අපි මෙහෙයුම් නිරීක්ෂණය කළ යුතුයි, ශ්‍රී ලංකා නීතියට අනුකූල වීම සහතික කළ යුතුයි. ස්වෛරීභාවය පවත්වා ගත යුතුයි. මෙම ව්‍යාපෘති අපගේ අවශ්‍යතා පිළිබඳ පැහැදිලි තක්සේරුවකින් කළමනාකරණය කළ යුතු යථාර්ථයන්.” යැයි ඔහු සඳහන් කළේය .
ආපදා ප්‍රතිචාර සහ අනාගත සූදානම පිළිබඳව ඔහු පැවසුවේ, රජය ඩිට්වා සුළි කුණාටුවෙන් නිරාවරණය වූ පද්ධති ප්‍රතිසංස්කරණය කරන බවයි.
“දිට්වා සුළි කුණාටුව ව්‍යසනකාරී එකක්. ප්‍රතිචාර වේගවත් වුණත් දිගුකාලීන දුර්වලතා පෙනෙනවා. අපි ආපදා කළමනාකරණ පද්ධති පිළිබඳ පුළුල් සමාලෝචනයක් දියත් කර තිබෙනවා. පුරෝකථනය කිරීම, පූර්ව ස්ථානගත කිරීමේ උපකරණ සහ ඉහළ අවදානම් සහිත ප්‍රදේශ අපි සිතියම්ගත කරනවා. දේශගුණික විපර්යාස සමඟ, මෙම පරිමාණයේ විනාශයක් අපේක්ෂා කළ යුතුව තිබුණා. අවම වශයෙන් දැන් අපි ඵලදායී සහ වගකිවයුතු පද්ධති ක්‍රියාත්මක කරමින් සිටිනවා.” යනුවෙන් ඔහු පැවසීය.
ආයෝජන සහ ගෝලීය සහයෝගය ඔරොත්තු දීමේ හැකියාවට මාරු නොවන්නේ නම් ශ්‍රී ලංකාව දේශගුණික කම්පන චක්‍රයකට කොටු වීමේ අවදානමක් ඇති බව ඔහු පැවසීය.
“අපි දැන්ම ක්‍රියා නොකළහොත් අපි කොටු වෙනවා. දේශගුණික-ප්‍රතිරෝධී යටිතල පහසුකම් ගොඩනැගීමට අපට උදව් කරන්න. දේශගුණික-ප්‍රතිරෝධී කර්මාන්ත දෙසට අපගේ ආර්ථිකය විවිධාංගීකරණය කරන්න අපට උදව් කරන්න. ජනතාවට ඉවත් වීමට කාලය ලැබෙන පරිදි තාක්ෂණය බෙදා ගන්න. ස්වාභාවික විපත් අවම කිරීමේ පද්ධති ගොඩනැගීමට අපට උදව් කරන්න. අපි මෙම චක්‍රය බිඳ දැමිය යුතුයි.” යනුවෙන් ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart