May 13, 2025

පොලිස් නිලධාරියකුට බැන තර්ජනය කළ සැකකරුවන් සිව්දෙනකු පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට මුහුණ පා ඇත්තේ පානදුර ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි.

ඔහු පානදුර වෙරළ තීරයේ රාජකාරියේ යෙදී සිටියදී එම සැකකරුවන් පිරිස දිය නෑම සඳහා මුහුදට බැසීමට සූදානම් වී තිබේ.

එහිදී මුහුදට බැසිම අනතුරුදායක බවත්, රතු කොඩි සිටුවා ඒ සම්බන්ධයෙන් සංඥා කර ඇති බවත් පොලිස් නිලධාරියා සැකකරුවන්ට පවසා ඇත.

එහිදී සැකකරුවන් එම පොලිස් නිලධාරියාට බැන තර්ජනය කිරීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ඔහු පානදුර දකුණ පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 22, 25, 26 සහ 28 යන වයස් කාණ්ඩවල පසුවන කලවාන ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව්දෙනෙකි.