May 1, 2025

මහජනතාවට මූල්‍යමය වශයෙන් වංචා කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ ලිපියක් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට අනතුරු අඟවා තිබේ.

‘CONVICTION’ යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් නම් කර ඇති එම ලිපියේ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ අත්සන ලෙස යොදා ඇති බවත්, එය පොලිස් සයිබර් අපරාධ මූලස්ථානයට යොමුකරන බවත් නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසයි.

ව්‍යාජ තොරතුරු සහිත ලිපිය, ශ්‍රී ලංකාවේ කොළඹ, සයිබර් අපරාධ මූලස්ථානය ලෙස හඳුනාගෙන ඇති සමාගමක් විසින් නිකුත් කර ඇති බවත්, එහෙත් එවැන්නක් නොපවතින බවත් පොලිසිය තවදුරටත් සඳහන් කරයි.

ලිපියේ ඇති තොරතුරු පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර නොමැති බවට මහජනතාවට අනතුරු අඟවා ඇති අතර, එම ලිපිය මහජනතාවට මූල්‍යමය වශයෙන් වංචා කිරීමට සහ ඔවුන්ට අපහසුතාවයක් ඇති කිරීමට අදහස් කරන බව පෙන්වාදෙයි.

එම ව්‍යාජ ලිපියට හසුනොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමින්, වංචාවට සම්බන්ධ අයට එරෙහිව දැඩි පියවර ගන්නා බව පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරයි.