May 2, 2025

සියදිවි හානිකර ගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉංජිනේරු සිසුවා එලෙස දිවි තොර කරගෙන ඇත්තේ නවකවධය ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස බවට චෝදනා කරමින් එම සිසුවාගේ මව්පියන් සහ ඥාතීන් පුස්සැල්ලාව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

ගම්පොළ අටබාගේ ඉහළගම ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි වියේ පසුවූ එම සිසුවා හදිසියේ නිවසට පැමිණ පසුගිය අප්‍රේල් 29 වැනිදා නිවස පිටුපස ගසක එල්ලී සියදිවි හානිකරගෙන තිබිණි.

ඔහු සිය ජීවිතය නැතිකර ගැනීමට පෙර තම මවගේ සොහොයුරියට තම දුක්ඛිත අත්දැකීම් පවසා ඇතැයි මව්පියෝ පවසති.

මේ සම්බන්ධයෙන් සමනලවැව පොලිසියට පැමිණිල්ලක් කළ බව විශ්වවිද්‍යාලයේ ඔහු සමග අධ්‍යයන කටයුතුවල නිරත වූ සහෝදර සිසුන් කිහිපදෙනකු ද ජනමාධ්‍ය වෙත පවසා ඇත.

ඔවුන් පෙන්වාදෙන්නේ මෙම නවක වධ සිද්ධියට වගකිව යුතු ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිස පළමු වසරේ සිටම මියගිය සිසුවා ඇතුළු සිසුන් පිරිසක් දිගින් දිගටම නවකවධයට ලක්කර ඇති බවයි.

ගම්පොළ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අමිල ද මෙල් විසින් සිසුවාගේ මරණ පරීක්ෂණ කටයුතු සිදුකර ඇති අතර එහිදී එම සිසුවා විසින් සියදිවි නසාගැනීමට පෙර ලියන ලද බව පැවසෙන සටහනක් ඉදිරිපත් කර ඇත.