
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ වරාය අසල පසුගියදා සිදු වූ තෙල් කාන්දුවකට වගකිව යුතු පැනමාවේ ලියාපදිංචි MT ASP අවානා නෞකාව රුපියල් මිලියන 15ක දඩයකින් පසුව නිදහස් කළ බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර පැවසීය.
කෙසේවෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අදාළ තෙල් කාන්දුව පිළිබඳ පරීක්ෂණ තවමත් අවසන් කර නොමැත.
ලබන සතියේ ඊට අදාළ වාර්තාවක් ඉදිරිපත් කෙරේ.
දෙසැම්බර් 14 වැනිදා අලුයම 3:30ට පමණ කොළඹ වරාය අසල නෞකාවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බොරතෙල් බැහැර කිරීමේ බෝයාවට පටවන අතරතුර බොරතෙල් කාන්දුව වාර්තා විය.
කාන්දුව ප්‍රධාන වශයෙන් නල මාර්ගයක ඇති වූ දෝෂයක් නිසා සිදු වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සභාපති ජනක රාජකරුණා පැවසීය.
නෞකාවේ බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් තිබූ බව ද රාජකරුණා පැවසීය.
කාන්දු වූ ප්‍රමාණය සොයා ගැනීමට පරීක්ෂණයක් පවත්වනු ඇත.
සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් පරීක්ෂා කිරීමෙන් පසු, ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම විසින් තෙල් නැවත ලබා ගැනීම ආරම්භ කරන ලදී.
පැය 24ක් ඇතුළත මෙම ක්‍රියාවලිය සාර්ථකව නිම කළ බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසීය.
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නෞකාව වන සමරක්ෂා ද මේ සඳහා යොදාගෙන තිබිණි.
“පෞද්ගලික අංශය ඇතුළු ආයතන සමඟ සහයෝගයෙන් අපට කාන්දු වූ තෙල්වලින් සැළකිව යුතු ප්‍රමාණයක් නැවත ලබා ගැනීමට හැකි වුණා,” ගුණසේකර පැවසීය.
“තෙල් ගොඩබිමට ප්‍රවාහනය කෙරුණා. ඊට අමතරව, ඉතිරි කුඩා තෙල් ප්‍රමාණයන් ලබා ගැනීම සඳහා පෞද්ගලික අංශයේ නැව්වලින් උදව් ඉල්ලා සිටියා. පසුගිය දිනවල සාගර ධාරා සහ ප්‍රදේශයේ සුළං දිශාව හේතුවෙන් තෙල් ශ්‍රී ලංකාවේ ගොඩබිමෙන් ඉවතට ගසාගෙන යන බව සටහන් වී තිබෙනවා.’’ යනුවෙන් ඔහු පැවසීය.
තෙල් ඉහිරීමේ සැබෑ සහ ඉදිරි ව්‍යාප්තිය තවදුරටත් නිරීක්ෂණය කිරීමට සහ ඇගයීමට පියවරක් ලෙස, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය උදව් ලබා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත යොමු විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ පැවසුවේ, තෙල් කාන්දුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදා වීඩියෝ දර්ශන අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත භාර දී ඇති බවයි.
තෙල් කාන්දුවීම්වල වායුගෝලීය බලපෑම පිළිබඳ අදහස් දක්වමින්, වයඹ විශ්වවිද්‍යාලයේ ජලජීවී වගා හා ධීවර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි පැවසුවේ තෙල් කාන්දුවීම් හේතුවෙන් සිදුවන වායු දූෂණය තක්සේරු කර වන්දි හිමිකම් සඳහා සළකා බැලිය යුතු බවයි.
“මෙවැනි අවස්ථාවන්හිදී, රළේ දිශාව සහ එහි ගුණාංග පිළිබඳ විද්‍යාත්මක තොරතුරු පරීක්ෂා කළ යුතුයි. මෙම අවස්ථාවේ දී සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් වහාම ගන්නා ලද උත්සාහයන් අගය කළ යුතුයි. නමුත් සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රමාණවත් තරම් කාර්යක්ෂම සාමාජිකයන් නොමැති බව මට හැඟෙනවා. මෙම ක්ෂේත්රයේ ශ්‍රී ලංකාවේ විශේෂඥයන්ගේ හිඟයකුත් තිබෙනවා.
තෙල් කාන්දුවීම්වලදී, පාලන පියවරවලට රසායනික විසරණ භාවිත කිරීම ඇතුළත්. තෙල්වල ඇති ඇතැම් ද්‍රව්‍ය වායුගෝලයට විසිරෙන්න පුළුවන්. වායුගෝලයේ ඇති දූෂක අදෘශ්‍යමානයි, මෙම අවස්ථාවේ දී වායු දූෂණය බොහෝ විට දැනෙන්නේ නැහැ. මෙම ප්‍රදේශයට බරපතළඅවධානයක් ලැබිය යුතුයි. වන්දි ඉල්ලීම් ඉල්ලා සිටින තෙල් කාන්දුවීම් සම්බන්ධ තත්ත්වයකදී, වායු දූෂණයත් සළකා බලන්න ඕනේ,” ඇය පැවසුවාය.
විශේෂයෙන්, ශ්‍රී ලංකාවේ සහ විශේෂයෙන් කොළඹ අගනගර කලාපයේ වායු දූෂණ මට්ටම් ඉහළ මට්ටමක පවතින බවත්, ඉන්දියානු උප මහද්වීපයේ ආරම්භ වන වායු දූෂණයේ බලපෑම ද රටට වැදගත් බවත් ඇය පැවසුවාය.
“පවතින බලපෑම තක්සේරු කිරීම සඳහා මෙම දූෂක චලනය වන ආකාරය අධ්‍යයනය කළ යුතුයි. ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන් ‘සැඟවුණු නිරාවරණයන්’ ලෙස හඳුන්වන එවැනි වායු දූෂණ ගැටළු සැළකිල්ලට ගත යුතුයි,” ඇය අවධාරණය කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart