May 16, 2025

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සිටින ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක් විසින් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට යන ආයෝජනවලදී බාධකවලට මුහුණ දී සිටින බව ෂැංහයි ජාත්‍යන්තර අධ්‍යයන ආයතනවල දකුණු ආසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සාමාජික සහ අධ්‍යක්ෂ මහාචාර්ය ලියු සොන්ගි පවසා තිබේ.

ඔහුට අනුව දැනට දේශීයව ක්‍රියාත්මක වන සමාගම් තරඟකාරිත්වයට බියෙන් සිනොපෙක් සමාගම සමග සමඟ ගැටී ඇත.

මහාචාර්ය ලියු සොන්ගි යනු ඉන්දියානු ආර්ථිකය සහ විදේශ ප්‍රතිපත්තිය, චීනයේ විදේශ ප්‍රතිපත්තිය, දකුණු ආසියානු ගැටලු, එක් තීරයක් – එක් මාවතක් මුලපිරීම සහ ගෝලීය පාලනය පිළිබඳ පර්යේෂණ අවධානයක් යොමු කරන විද්වතෙකි.

ඔහු මේ දිනවල ශ්‍රී ලංකාවේ සිටින්නේ පාත්ෆයින්ඩර් පදනමේ ආරාධනයකට අනුවය.

“උදාහරණයක් ලෙස, චීන තෙල් සමාගමක් වන සිනොපෙක් මෙහි පිරිපහදුවක් ඉදිකිරීමට කැමතියි. දැන්, දේශීය සමාගම් චීන තෙල් සමාගම් මෙහි පැමිණීමට අකමැති නිසා අපි බාධකවලට මුහුණ දී සිටිනවා. එය තරඟකාරිත්වයේ ගැටලුවක්. චීන තෙල් සමාගමක් මෙහි පැමිණියහොත්, ඔවුන් සතුව ඉහළ තාක්ෂණයන් ඇති නිසා දේශීය සමාගම්වලට දැඩි තරඟකාරිත්වයකට මුහුණ දෙන්න වෙනවා. දැන් වෙළඳපොළ ඔවුන්ගේ බැවින් ඔවුන් එවැනි පීඩනයක් පිළිගැනීමට කැමති නැහැ, ” යනුවෙන් ඔහු පැවසීය.

චීන ආයෝජනවල ශක්‍යතාවක් නොමැති බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, “අතීතයේ දී, චීනය ශ්‍රී ලංකාවේ විශාල මුදලක් ආයෝජනය කර හම්බන්තොට වරාය වැනි යටිතල පහසුකම් ව්‍යාපෘති රාශියක් ඉදි කළා. එය මෙගා යටිතල පහසුකම් ව්‍යාපෘතියක්. එය ඵලදායී වීමට කාලය අවශ්‍යයි. එය වසරකින් හෝ දෙකකින් ක්‍රියාත්මක විය නොහැකියි. නමුත් චීන ජාතිකයන්ට දේශීය ජනතාවට රැකියා නිර්මාණය කළ නොහැකි නම් චීන ජාතිකයන් මෙතරම් මුදලක් ආයෝජනය කරන්නේ මන්දැයි සහ ඔවුන් ලංකාවට මෙතරම් මුදලක් යොදවන්නේ මන්දැයි මෙරට ජනතාව සිතනවා. දැන් ඔබට දකින්න පුළුවන් හම්බන්තොට වරාය මෙරට ජනතාවට ලාභ උපයා දෙමින් සිටින බව, ”යනුවෙනි.

මෙම වසර මුලදී ජනාධිපති අනුර කුමාර දිසානායක බීජිං වෙත කළ සංචාරයේදී, චීන රජය සතු තෙල් හා ගෑස් දැවැන්තයකු වන චීන පෙට්‍රෝලියම් රසායනික සංස්ථාව හෙවත් සිනොපෙක් සමඟ හම්බන්තොට ප්‍රදේශයේ අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.

සිනොපෙක් හි අනුබද්ධිත සමාගමක් වන සිනොපෙක් එනර්ජි ලංකා දැනට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවල නියැලී සිටී.

ශ්‍රී ලංකාවේ සිනොපෙක් පිරිපහදුව බලශක්ති සැපයුම්කරුවකු ලෙස සිය භූමිකාව පුළුල් කිරීමේදී ඉන්දියාවේ අවශ්‍යතා සමඟ සෘජු තරඟයකට යොමු වේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෑත කාලීන සංචාරයේදී, ඉන්දු – ශ්‍රී ලංකා සම්බන්ධතාවයේ කොටසක් ලෙස බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගයක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.