
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, ප්‍රනීත ආහාරවේලක්, ප්‍රියතාවයක් ඇතිවන පරිදි රෝගියාට ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.
ඊට අදාළව විශේෂ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙම විශේෂ වැඩපිළිවෙළ ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය මහරගම අපේක්ෂා රෝහල කේන්ද්‍රගත කරගෙන ආරම්භ කිරීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති අතර, ඒ අනූව එම රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළුව පරිපාලනයට සහ මෙම විෂයට අදාළ නිලධාරීන්, ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ වෛද්‍යවරුන්, පෝෂණවේදීන්, ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවැත්විණි.
සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව අතිවිශාල මුදලක් රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ආහාර පාන ලබාදීම සදහා වැයකරන බව පෙන්වාදුන් අමාත්‍යවරයා, එම මුදලට සාධාරණයක් ඉටුවන්නේ ද යන්න ගැටළු සහගත තත්ත්වයක් බව මෙහි දී පවසා සිටියේය.
මේ වන තෙක් රෝහලෙන් රෝගියාට ලබාදෙන ආහාර වේල පිළිබඳව රෝගියා තෘප්තිමත් ද නැද්ද යන්න පිළිබදව විමසීමක්වත් නොකරන තත්ත්වකට එම සේවාව පත්ව ඇති බව ද අවධාරණය කළ අමාත්‍යවරයා, රෝහලෙන් ලබාදෙන වර්තමාන ආහාරවේල පිළිබඳවත්, එය රෝගියාට ලබාදෙන ක්‍රමයේත් වෙනසක් ඇති කළයුතු බව පැවසී ය.
ප්‍රනීත, ගුණදායක ආහාරවේලක් ප්‍රියමනාපව රෝගියාට ලබාදීමේ අවශ්‍යතාවය සහිතව මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භකරන මෙම නියමු ව්‍යාපෘතිය ඉදිරියේ දී මෙරට සියලු රජයේ රෝහලවල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ අමාත්‍යවරයා, අපේක්ෂා රෝහල තුළ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරිමට පවතින ගැටළු පිළිබඳව විමසා සිටියේය.
මේ වන විට අපේක්ෂා රෝහල තුළ එකවර 2000 කට ආහාර පාන සැකසීම සදහා පහසුකම් සහිත නවීන මුළුතැන්ගෙයක් සකස් කර ඇති බවත්, එයට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති බව මෙහි දී අණාවරණය විය.
එමෙන් ම නවීන ආකාරයට මෙම ආහාර පාන සැකසීම සහ පිළිගැන්වීමට කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් ලබා දීමේ අවශ්‍යතාවය ද මෙහි දී මතුවිය.
මුළුතැන්ගෙය, කුස්සිය හෙවත් ‘kitchen’ යන නාමය වෙනුවට එහි නම ආහාර පාන දෙපාර්තමේන්තුව (Food and Beverages Department) ලෙස වෙනස් කිරීමටත් මෙහි දී යෝජනා විය.
තනි පිඟානකට හොදි, එළවළු, මාළු, මස් යනාදිය බෙදූ ආහාර පිඟානක් වෙනුවට බත්, එළවළු, මස් හෝ මාළු යනාදිය වෙන වෙනම බෙදා තිබෙන ප්‍රියමනාප පිඟානක (Customise Plate) අදාළ ආහාර වේල රෝගියාට පිරිනැමීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අංගය බවත්, එබඳු පිඟානකට බෙදූ ආහාර වේලක් දුටු සැණින් රෝගියාට ආහාර ගැනීමට රුචියක්, ප්‍රියතාවක් ඇති වන බව ද වෛද්‍යවරුන් මෙහි දී අමාත්‍යවරයාට පෙන්වාදෙන ලදී.
එමෙන් ම මෙම ව්‍යාපෘතිය ඉදිරියේ දී රජයේ සියලුම රෝහල්වල ක්‍රියාත්මක කිරීමට නම් රෝහල්වල මුළුතැන්ගෙවල් නවීකරණයට ලක්කළ යුතු බවත්, දැනට පවතින ගෑස් උඳුන වෙනුවට වාෂ්ප (steam) බලයෙන් ක්‍රියාත්මක කළ හැකි උඳුන් මෙන් ම නවීන තාක්ෂණයෙන් යුතු උපකරණ ලබාදීමේ අවශ්‍යතාවය ද මෙහි දී ඉස්මතු විය.
රෝහල්වල ආහාර පාන සැකසීමට අමුද්‍රව්‍ය ලබා දීමේ ලංසුව ලබාදෙනුයේ අවම ලංසුව තබන පුද්ගලයාට බවත්, එම අවම ලංසුව තබන තැනැත්තා රෝහලට ලබාදෙන අමුද්‍රව්‍යවල ගුණාත්මකභාවය පිළිබඳව ගැටළු සහගත තත්ත්වයන් පවතින බවත්, විශේෂයෙන් ම කුළුබඩුවල ගුණාත්මකභාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතු බව නිලධාරීහු,වෛද්‍යවරු අමාත්‍යවරයා හමුවේ මෙහි දී පැවසූහ.
මෙහි දී මතු වූ කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමුකළ අමාත්‍යවරයා ඊට කඩිනම් විසඳුම් ලබාදී මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට කටයුතු කරන බව අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart