May 1, 2025

පොලිසිය විසින් කුරුණෑගල-අනුරාධපුර මාර්ගයේ ස්ථාන 11 කදී ක්‍රියාත්මක කරන ලද ‘GovPay’ ජංගම යෙදුම හරහා මාර්ගගතව රථවාහන දඩ මුදල් ගෙවීමට රියදුරන්ට අවස්ථාව ලබාදෙන නියමු ව්‍යාපෘතිය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

රථවාහන පොලිස් නිලධාරීන් විසින් නිකුත් කරනු ලබන දඩ මුදල් ගෙවීමට රියදුරන්ට හැකිවන පරිදි රජය විසින් ‘GovPay’ ජංගම යෙදුම හඳුන්වා දී ඇත.

ගෙවීම් ක්‍රියාවලිය විධිමත් කිරීම සහ ඩිජිටල් ගෙවීම් සඳහා පහසුකම් සැලසීම මෙහි අරමුණයි.

අප්‍රේල් 30 වැනිදා දක්වා ක්‍රියාත්මක කළ නියමු ව්‍යාපෘතියෙන් පසුව මෙම වැඩසටහන අනෙකුත් ප්‍රදේශවලටත් ව්‍යාප්ත කිරීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක The Sunday Times Business වෙත පවසා තිබේ.

රාජ්‍ය නිලධාරීන් අල්ලස් ගැනීම වැළැක්වීම සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන මෙන්ම රජයේ සේවාවන් කෙරෙහි විශ්වාසය ගොඩනැගීම එහි එක් අරමුණකි.

බොහෝදෙනෙකුට ප්‍රවේශ විය හැකි GovPay විධිමත් මූල්‍ය ගනුදෙනුවල යෙදීමට ජනතාව දිරිමත් කරන අතර රාජ්‍ය සේවාවන් සඳහා ඩිජිටල් ගෙවීම් සාමාන්‍ය සේවාවක් බවට පත්කරයි.

නියමු ව්‍යාපෘතිය යටතේ GovPay ඔස්සේ දඩ මුදල් විශාල ප්‍රමාණයක් එකතු කර ඇති බව ද වාර්තා වේ.