September 26, 2025

වෛද්‍ය නොවන වෘත්තිකයන් විසින් සිදු කරන පච්ච කෙටීමේ කලාව දකුණු කොරියාව නීතිගත කර තිබේ.

ඒ අනුව එම වෘත්තියේ නියැලුණු සාමාජිකයන්ට වසර 30කට පමණ පසු ප්‍රථම වතාවට නඩු පැවරීමට හෝ හිරිහැරයට බියෙන් තොරව වැඩ කිරීමට අවස්තාව සැලසේ.

දකුණු කොරියාවේ පච්ච කෙටීම සාමාන්‍ය දෙයක් වුවද, 1992 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් පසුව එය වෛද්‍ය වෘත්තිකයන්ට පමණක් සීමා වී ඇත.

නමුත්, පච්ච කෙටීමේ පනත මහා සභාව විසින් බ්‍රහස්පතින්දා සම්මත කිරීමෙන් පසු, කර්මාන්තයේ වැඩි කොටසක් වන වෛද්‍ය නොවන වෘත්තිකයන්ට බලපත්‍රයක් ලබා ගැනීමට හැකි වනු ඇත.

කොරියානු පච්ච සම්මේලනයේ සභාපති ලිම් බෝ-රන්, නීතිය සම්මත වීමේදී හඬා වැලපෙමින් පැවසුවේ “මට කතා කර ගන්නත් බැහැ, මොකද මේක සිහිනයක් වගේ. මම සැබවින්ම කෘතඥ වෙනවා.” යෞවෙනි.

1992 සිට මේ දක්වා, වෛද්‍ය සහතික නොමැතිව පච්ච කෙටීමේ නිරත වන ඕනෑම අයකුට වසර පහක සිර දඬුවමක් හෝ කොරියානු වොන් මිලියන 50ක් ($35,000) දක්වා දඩයකට මුහුණ දීමට සිදු විය.

පච්ච කොටන්නන් කොපමණ සංඛ්‍යාවකට නඩු පවරා ඇත්ද යන්න පිළිබඳ නිල සංඛ්‍යාලේඛන නොමැත.

දකුණු කොරියාවේ පච්ච කොටන්නන් සංගමය පවසන්නේ ඔවුන් සෑම වසරකම අවම වශයෙන් 50 දෙනෙකුට නීතිමය සහාය ලබා දෙන අතර දඩ මුදල් ගෙවීමට ඇති තවත් බොහෝ දෙනෙකු සිටින බවයි.

එරට සෞඛ්‍ය හා සුභසාධන අමාත්‍යාංශයට අනුව, 2021 වන විට, රට තුළ පච්ච කොටන්නන් 350,000ක් පමණ සිටි බව ඇස්තමේන්තු කර ඇත.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තොල්, ඇහි බැම හෝ හිසකෙස් සඳහා වේශ නිරූපණය පිළිබඳ විශේෂඥයෝ වෙති.

ඒ අතරින් සාපේක්ෂව ස්වල්ප දෙනෙකුට වෛද්‍ය සුදුසුකම් ඇත.

තාක්ෂණික වශයෙන් නීති විරෝධී පිළිවෙතක යෙදීමෙන්, දකුණු කොරියාවේ පච්ච කොටන්නන් තර්ජනවලට ලක් වී හෝ අතෘප්තිමත් සේවාදායකයන් විසින් වාර්තා කිරීම නිසා හසු වී ඇත.

නාර් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පච්ච කලාකාරිනියක් මීට පෙර බීබීසීයට පැවසුවේ පච්ච කොටා ගැනීමෙන් පසු පිරිමියකු විසින් තමන් ලිංගික හිරිහැරයට ලක් කළ ද නඩු පවරනු ඇතැයි යන බිය නිසා සිද්ධිය බලධාරීන්ට වාර්තා නොකළ බවයි.

මෑත වසරවලදී, දකුණු කොරියානු අධිකරණ පච්ච කලාකරුවන් කිහිප දෙනෙකු නිදොස් කොට නිදහස් කර ඇති අතර එය ආකල්පවල වෙනසක් පෙන්නුම් කරයි.

ජාතික සභාවේ සෞඛ්‍ය සහ සුභසාධන කමිටුවේ සභාපති සහ මේ නීතියේ ප්‍රධාන නීති සම්පාදක පාර්ක් ජු-මින් සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ බොහෝ දේශපාලනඥයන් ඇහි බැම හෝ තොල් පච්ච කොටා ඇති බවයි.

නීතිය සම්මත කිරීම මගින් පුරවැසියන්ට ආරක්ෂිතව පච්ච කොටා ගැනීමට ඉඩ සලසන අතර, පච්ච කර්මාන්තයේ නියැලී සිටින අය නීති වෘත්තිකයන් ලෙස පිළිගනු ඇත යනුවෙන් ඔහු පැවසීය.

කෙසේවෙතත්, නීතිය වෙනස් කිරීම ගැන දකුණු කොරියාවේ වෛද්‍ය ප්‍රජාව විරෝධය පළකර තිබේ.

නීතිය සම්මත වීමට පෙර, කොරියානු වෛද්‍ය සංගමය පැවසුවේ පච්ච කෙටීම “සමට හානි කරනවා පමණක් නොව, පිළිකා රෝග විනිශ්චයට බාධා කිරීම ඇතුළු අනෙකුත් සෞඛ්‍ය අවදානම් ද ඇති කළ හැකි” බවයි.

නව නීතිය ක්‍රියාත්මක වන්නේ වසර දෙකකිනි.

පච්ච කලාකරුවන් ජාතික විභාගයක් සමත් විය යුතු අතර, සම්පූර්ණ ආරක්ෂාව සහ සනීපාරක්ෂක පුහුණුවක් ලබා දිය යුතු වේ.

ලේසර් භාවිතයෙන් සිදු කරන පච්ච ඉවත් කිරීම තවමත් වෛද්‍ය වෘත්තිකයන්ට පමණක් සීමා වේ.