May 10, 2025

කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයට එක්සත් ජනපදය විසින් ඩොලර් 500,000ක් වටිනා නව විකිරණ හඳුනාගැනීමේ උපකරණ ලබා දී ඇති බව එක්සත් ජනපද තානාපති කාර්යාලය පැවසීය.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග් කොළඹ වරායේ දී නව විකිරණ හඳුනාගැනීමේ උපකරණය ක්‍රියාත්මක කළාය.

එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුව/ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලනයේ න්‍යෂ්ටික ජාවාරම් හඳුනාගැනීමේ සහ වැළැක්වීමේ කාර්යාලය විසින් එහි මෙගාපෝර්ට්ස් මුලපිරීම හරහා මෙම උපකරණ සපයන ලදී.

“ශ්‍රී ලංකාව න්‍යෂ්ටික ජාවාරමට එරෙහි සටනේ අපගේ දීර්ඝතම හවුල්කරුවන්ගෙන් කෙනෙක්. 2004 සිට ඩොලර් මිලියන 31කට වඩා ආයෝජනය කර ඇති මෙගාපෝර්ට්ස් මුලපිරීම, ලෝකයේ වඩාත්ම උපායමාර්ගික සමුද්‍රීය වෙළඳ මාර්ගවලින් එකක් සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ශක්තිමත් කර තිබෙනවා,” යනුවෙන් එක්සත් ජනපද තානාපති කාර්යාල ප්‍රකාශයේ දී ජූලි චුන්ග් දක්වා ඇත.

එම ප්‍රකාශයට අනුව කොළඹ වරායේ මෙම ක්‍රියාත්මක කිරීම මගින් වසර 20ක හවුල්කාරිත්වයේ සහ ගෝලීය සැපයුම් දාම ආරක්ෂා කිරීම, න්‍යෂ්ටික ද්‍රව්‍ය පැතිරීම වැළැක්වීම සහ දේශසීමා තරණය කිරීමට පෙර භයානක ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා වූ හවුල් කැපවීමේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමකි.

ඩොලර් 500,000ක් (රු. මිලියන 148) පමණ වටිනා මෙම උපකරණ කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේදී විකිරණශීලී ද්‍රව්‍ය පවතින බව හඳුනාගෙන බලධාරීන්ට අනතුරු ඇඟවීමට, ශ්‍රී ලංකාවේ ජාතික වරාය ආරක්ෂක රෙගුලාසිවලට සහාය වීමට, ගෝලීය සැපයුම් දාම ආරක්ෂාව ශක්තිමත් කිරීමට සහ එක්සත් ජනපද හෝ අන්තර්ජාතික වෙරළට ළඟා වීමට පෙර ප්‍රධාන සංක්‍රමණ මධ්‍යස්ථානවල තර්ජන හඳුනා ගැනීමෙන් ආරක්ෂක පරිමිතිය පුළුල් කිරීමට භාවිත කරනු ඇත.