May 17, 2025

මැයි මස 08 වැනි දිනට යෙදුණු ලෝක තැලසීමියා දිනයට සමගාමීව, නාවික හමුදා සාමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්‍ෂේපන යන්ත්‍ර 400ක්, රෝගීන් වෙත නොමිලේ බෙදාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම නාවික හමුදාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මුලස්ථානයේදී සිදුකෙරිණි.

තැලසීමියා රෝගීන් වෙත ප්‍රතිකාර කිරීම සඳහා අඛණ්ඩව රුධිර පාරවිලයනය සිදුකිරීමේදී ශරීරය තුළ තැන්පත්වන අධික යකඩ ප්‍රමාණය ඉවත්කිරීම සඳහා අවශ්‍ය ඖෂධ එන්නත් කිරීම වෙනුවෙන් තැලසීමියා නික්‍ෂේපන යන්ත්‍ර භාවිත කරනු ලබයි.

ඒ අනුව, වෙළඳපොළේ ඉහල මිලක් වන මෙම තැලසීමියා නික්‍ෂේපන යන්ත්‍ර ඉතා අඩු පිරිවැයක් යටතේ නියමිත ප්‍රමිතියෙන් යුතුව දේශීයව නිපදවා රෝගීන් වෙත නොමිලේ බෙදාදීමේ අරමුණෙන්, නාවික හමුදා සාමාජීය වගකීම් අරමුදලේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, සමාජීය මෙහෙවරක් ලෙස තැලසීමියා නික්‍ෂේපන යන්ත්‍ර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය නාවික හමුදාව විසින් 2011 වර්ෂයේදි ආරම්භ කෙරිණි.

එමෙන්ම, 2025 මැයි මස 16 වැනි දින සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදුන් තැලිසීමියා නික්‍ෂේපණ යන්ත්‍ර 400ත් සමඟ, නාවික හමුදාව මේ වන විට තැලසීමියා නික්‍ෂේපණ යන්ත්‍ර 3564ක සංඛ්‍යාවක් රෝගීන් වෙත ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීමට කටයුතු කර ඇත.

තවද, නාවික හමුදාව මෙම සමාජීය මෙහෙවරෙහි අඛණ්ඩව වසර 14ක් නිරතවන බැවින්, එවැනි යන්ත්‍ර ආනයනය වෙනුවෙන් වැයවන විශාල මුදල් ප්‍රමාණයක් රට තුළ ඉතිරි කර දීමටද අඛණ්ඩව දායක වෙයි.