March 31, 2025

මියන්මාරයට බලපෑ භූමිකම්පාවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 1,700 ඉක්මවා ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

මුදාගැනීමේ මෙහෙයුම් සිදුකරන මියන්මාර හමුදාව පවසන්නේ, සුන්බුන් අතර සිරවී තිබෙන තවත් සිරුරු ගොඩගනිමින් පවතින බවයි.

තුවාලකරුවන් 3,400 දෙනෙකු සිටින අතර තවත් 300 කට වැඩි පිරිසක් අතුරුදහන් වී සිටින බව රජයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් Zaw Min Tun එරට රාජ්‍ය මාධ්‍ය වෙත පවසා ඇත.

කෙසේවෙතත් ඔහු ආපදාවට පත් පුදගලයන් සම්බන්ධයෙන් නිශ්චිත සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත්කර නොමැති බව වාර්තා වේ.

ඉකුත් සිකුරාදා මධ්‍යම රාත්‍රියේ මියන්මාරයට රිච්ටර් මාපක 7.7 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක බලපෑම් එල්ල වූ අතර, අගනුවර වන නයිපිටව් සහ දෙවැනි විශාලතම නගරය වන මැන්ඩලේ ඇතුළු නගර රැසකට දැඩි හානි සිදුවිය.

මැන්ඩලේ නගරයේ ඉදිකර තිබෙන ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් කඩාවැටී ඇති අතර නගරයේ ගුවන් තොටුපොළ වැනි අනෙකුත් යටිතල පහසුකම්වලට ද දැඩි හානි සිදුවිය.

අවහිර වී ඇති මාර්ග, කඩාවැටුණු පාලම්, සන්නිවේදන පද්ධති සහ රටේ පවතින සිවිල් යුද්ධය වැනි අභියෝග නිසා සහන මෙහෙයුම් අඩාල වී ඇතැයි වාර්තා වේ.

භූකම්පනයෙන් බලපෑම් එල්ල වූ අසල්වැසි තායිලන්තයේ අවම වශයෙන් පුද්ගලයන් 18 දෙනකු මියගොස් ඇතැයි පැවැසේ.

කෙසේවෙතත් ඇතැම් නිල නොවන වාර්තා පවසන්නේ, මියන්මාරයේ මියගොස් ඇති සංඛ්‍යාව 10,000 ඉක්මවා යෑ හැකි බවයි.