May 12, 2025

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පෙරළුණු බස් රථයේ සිරවී සිටිමින් තම දරුවා ආරක්ෂා කළ මව රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

සුන්බුන් අතර සිරවී සිටියදී තම මාස 9ක් වයසැති දරුවාට රැකවරණය දුන් එම මවගේ දර්ශන පෙළට ඊයේ දිනය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබී තිබුණේ එහි ඇති සංවේදීකම නිසාමය.

කෙසේවෙතත් 45 හැවිරිදි එම මව රෝහල්ගත කිරීමෙන් පසු ඊයේ පස්වරුවේ මියගොස් ඇත.

යකඩ ගොඩකට මැදිව සිටියදී පවා සිය දරුවාගේ දිවි රැකගැනීමට වෙර දැරූ එම මවගේ උත්සාහය හේතුවෙන් බිළිඳා තරමක් යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවෙයි.

ළදරුවා බේරාගෙන නුවරඑළිය රෝහලට යැවුණු අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල වෙත මාරුකර යවා ඇත.

එම මවගේ මරණයත් සමග අදාළ අනතුරින් අහිමිවූ ජීවිත සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ යයි.