May 10, 2025

ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළු පැළඳි අනුදි ගුණසේකර ඉන්දියාවේ තෙලඟනා හිදී අද ඇරඹෙන 2025 ලෝක රූ රැජින තරගාවලිය සඳහා ඉදිරිපත් වේ.

තරඟයේ සමාරම්භක උත්සවයේ පෙරහුරුවලට සහභාගී වීම සඳහා අනුදි ගුණසේකර මීට දින කිහිපයකට පෙර තෙලඟනා වෙත ගොස් තිබිණි.

72 වැනි වරට සංවිධාන කෙරෙන මෙවර 2025 ලෝක රූ රැජින තරගය තෙලඟනා හි අගනුවර වන හයිද්‍රාබාද් හිදී පැවැත්වේ.

තරඟයේ මහා සමාරම්භක උත්සවය මැයි 10 වැනි දින පැවැත්වීමට නියමිත අතර එය මැයි 31 වැනි දින අවසන් වේ.

දිගු කාලයක් පැවති සහ රූමතියන් තේරීමේ වඩාත්ම ආකර්ෂණීය තරඟාවලිය ලෙස සැළකෙන මෙම තරඟාවලිය සඳහා රටවල් 100කට අධික සංඛ්‍යාවක තරඟකාරියන් ඉන්දියාවට පැමිණ සිටී.

2025 ලෝක රූ රැජින තරගාවලියේ නිල සමාරම්භක උත්සවය ගචිබෝව්ලි ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර, ඊට තෙලඟනා ජන හා ගෝත්‍රික නර්තන සම්ප්‍රදායන් සමරන රංගනයන් ඇතුළත් වේ.

තරඟකාරියන්ට නාගර්ජුනසාගර් හි බෞද්ධ තේමාව අනුව සැකසුණු උද්‍යානයක් වන බුද්ධවනම් නැරඹීම සඳහා ද අවස්ථාව ලැබේ.

බෞද්ධ උරුමයන් පිළිබඳ අවබෝධයක් ලබා දෙන ස්තූප, සංකීර්ණ මූර්ති සහ ප්‍රදර්ශන භාණ්ඩ මෙම ස්ථානයේ ප්‍රදර්ශනය කෙරේ.