May 14, 2025

සී/ස ජාතික තරුණ සේවා සමුපකාරය හෙවත් ‘නිස්කෝ’ (NYSCO) ආයතනය මගින් පවත්වාගෙන යනු ලබන පාඨමාලා සහ වැඩසටහන් ප්‍රවර්ධනය සහ ඒවාට අදාළව නිකුත් කරන සහතික පත්‍ර සඳහා අමාත්‍යාංශයේ නිසි අනුමැතියකින් තොරව, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නාමය සහ රාජ්‍ය ලාංඡනය භාවිත කරන බව නිරීක්ෂණය වී ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී සහ එහි අනුකාරක සභාවේදී මතු වූ කරුණු සහ නිර්දේශ අනුව, අමාත්‍යාංශ නාමය සහ රාජ්‍ය ලාංඡනය භාවිත කරමින් පාඨමාලා පැවැත්වීම සහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ විමර්ශනය කිරීම සඳහා කමිටුවක් ද අමාත්‍යාංශය විසින් පත් කර ඇති බවයි.

නිස්කෝ ආයතනය විසින් පවත්වනු ලබන හෝ ප්‍රවර්ධනය කරනු ලබන කිසිදු පාඨමාලාවක් හෝ වැඩසටහනක් සම්බන්ධයෙන්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එම අමාත්‍යාංශය අවධාරණය කරයි.