December 17, 2025

දිත්වා සුළි කුණාටුව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් මත ක්‍රියා කිරීමට රජය අපොහොසත් වූ බවට කරන ලද ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් තහවුරු නොකළ තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ මාධ්‍ය ආයතනවලට අවවාද කළේය.

දෙසැම්බර් 15 වැනිදා ගනු ලැබූ කැබිනට් තීරණවලින් පසුව පැවති මාධ්‍ය හමුවකදී, අමාත්‍ය ජයතිස්ස සඳහන් කළේ විපක්ෂය ඉල්ලා සිටින පරිදි ගැටලුව පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් අවශ්‍ය නොවන බවයි.

“ඔවුන්ට අධිකරණයට යන්න කියන්න. එතකොට පුළුවන් ඇතැම් මාධ්‍ය ආයතන මෙම ක්ලිප් සංස්කරණය කරලා විකෘති කළ ආකාරය අපට පෙන්නන්න,” ඔහු පැවසීය.

මාධ්‍යවල සංසරණය වන ඇතැම් චෝදනා නොමඟ යවන සහ සාවද්‍ය බව අවධාරණය කරමින් ඔහු පැවසුවේ, රජය දැනටමත් රූපවාහිනී සාකච්ඡා ගණනාවක් හරහා සහ පාර්ලිමේන්තුවේ සවිස්තරාත්මක ප්‍රකාශයක් හරහා පුළුල් පැහැදිලි කිරීම් ලබා දී ඇති බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නොවැම්බර් 25 වැනිදා තීරණාත්මක කාලගුණික තත්ත්වයන් පිළිබඳ තොරතුරු විධිමත් ලෙස නිකුත් කළ බවත්, බලධාරීන්ට බොහෝ කලකට පෙර අනතුරු ඇඟවූ බවට කරන ලද ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් අමාත්‍යවරයා නැවත අවධාරණය කළේය.

නොවැම්බර් 12 වැනිදාට පෙර රජයට සුළි කුණාටුව පිළිබඳ තොරතුරු ලැබුණු බවට ඇතැම් රූපවාහිනී නාලිකා විසින් විකාශනය කරන ලද චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළ අතර ඒවා අසත්‍ය සහ වගකීම් විරහිත බව සඳහන් කළේය.

“මේවා සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනා,” ජයතිස්ස පැවසීය.

රතු නිවේදන 23ක් හරහා බලධාරීන්ට දැනුම්දුන් බවට කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් ජයතිස්ස පැවසුවේ, නිල වාර්තාවලින් පෙනී යන්නේ එම නිවේදනවලින් 19ක් නොවැම්බර් 27 වැනි දිනෙන් පසුව නිකුත් කර ඇති අතර කාලරාමුවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය හරහා සත්‍යාපනය කළ හැකි බවයි.

ඉන්දියාවේ ඉන්දියන් එක්ස්ප්‍රස් විසින් ප්‍රකාශයට පත් කරන ලද ලිපියක් මත පදනම් වූ වාර්තා ද ඔහු විවේචනය කළේය.

නොවැම්බර් 12 වැනිදා සිට ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් සුළි කුණාටුව පිළිබඳව අනතුරු ඇඟවූ බවට ඇතැම් ශ්‍රී ලංකා මාධ්‍ය ආයතන එය උපුටා දක්වා තිබිණි.

විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සමඟ එක්ව මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති බව ජයතිස්ස පැවසීය.

නැවත නැවතත් මෙම ගැටලුව සළකා බැලීම අනවශ්‍ය බව සඳහන් කරමින්“මේ සියල්ල ලේඛනගත සහ මාර්ගගත මූලාශ්‍ර හරහා සත්‍යාපනය කරන්න පුළුවන්,” යනුවෙන් ඔහු පැවසුවේය.

වැරදි තොරතුරු අඛණ්ඩව ගලා යන්නේනම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට රජය පසුබට නොවන බවත් එවැනි වැරදි තොරතුරු මහජන නොසන්සුන්තාවට, සමාජ ගැටුම්වලට සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවටත් අමාත්‍ය ජයතිස්ස අනතුරු ඇඟවීය.