June 18, 2025

ජාතික ජන බලවේගය කොළොන්නාව නගර සභාවේ බලය තහවුරු කර ඇත.

කොළොන්නාව නගර සභාවේ සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා අද (18) උදෑසන ඡන්දයක් කැඳවූ විට උණුසුම්කාරී තත්වයක් වාර්තා විය.

කොළොන්නාව නගර සභාවේ ආසන නවයක් ජාතික ජන බලවේගය දිනාගත් අතර, විපක්ෂයට ආසන 10ක් හිමිවිය.

කෙසේවෙතත් අද උදෑසන විපක්ෂ මන්ත්‍රීවරුන් නවදෙනකු සභා ගැබෙන් පිටව ගිය අතර, සමගි ජන බලවේගයෙන් වැඩිම ඡන්ද ලබාගත් සුසිල් කුමාර, සභාවේ රැඳී සිටිමින් ජාතික ජන බලවේගයට සහාය පළකළේය.

ඒ අනුව, රහස් ඡන්දයෙන් ඡන්ද 10ක් ලබාගැනීමෙන් පසු ජාතික ජන බලවේගයේ ධම්මික විජයමුණි කොළොන්නාව නගර සභාවේ සභාපති ධුරයට තේරී පත් වූ අතර, උප සභාපති ධුරයට සමන් සෙනෙවිරත්න තේරී පත් විය.

මේ අතර, කුලියාපිටිය නගර සභාවේ සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම ද අද සිදුවිය.

සජබ පක්ෂයේ ගාමිණී කරුණාරත්න ඡන්ද නවයක් ලබාගනිමින් සභාපති ලෙස තේරී පත් වූ අතර, ජාතික ජන බලවේගයේ නිරෝෂ් ජානක ඡන්ද පහක් පමණක් ලබාගත්තේය.

ඡන්ද නවයක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂයේ විල්ෆ්‍රඩ් සිල්වා උප සභාපති ලෙස තේරී පත් වූ අතර, ජාතික ජන බලවේගයේ ජයතිලක අධිකාරි පරාජයට පත් විය.

ඒ අනුව, කුලියාපිටිය නගර සභාවේ සභාපති ලෙස ඩබ්ලිව්.පී. ගාමිණී කරුණාරත්න තේරී පත් වූ බව පළාත් පාලන කොමසාරිස් එච්.එම්. සංජීවනී හේරත් නිල වශයෙන් නිවේදනය කළාය.