May 16, 2025

මගීන්ට අවදානමක් ඇති කළ බරපතල යාන්ත්‍රික හෝ ආරක්‍ෂිත ඌනතා සහිත වාහන ධාවනය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 11 දෙනෙකුට එරෙහිව පොලීසිය නීතිමය පියවර ගෙන තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ පහක සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ හයක රියදුරන්ට එරෙහිව පොලීසිය එලෙස නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

හැටන් නුවර ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයේ ධාවනය වන වාහන පිළිබඳව අවධානය යොමු කරමින් ගිනිගත්හේන පොලිසිය හැටන් සිට ධාවනය වන දුරගමන් බස් රථ හදිසි පරීක්ෂා කිරීමකට ලක් කර ඇත.

ඒ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් පරිදි මෑතකාලීනව සිදුවූ මගී බස් රථ අනතුරු කිහිපයකින් පසු මගීන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා දුර ගමන් සේවා සහ පෞද්ගලික බස් රථ පරීක්ෂා කිරීමේ මෙහෙයුමට සමගාමීවයි.

එම රියදුරන්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේදී චෝදනා ගොනු කර ඇති බව පොලිසිය පවසයි.

තවත් බස් රථ කිහිපයක සුළු දෝෂ ඇති බවට අනාවරණය වී ඇති අතර, ඒවා කඩිනමින් නිවැරදි කරන ලෙස රියදුරන්ට උපදෙස් ලබා දී ඇත.

මාර්ග නීති කඩකිරීමක් හෝ බස් රථ රියදුරන්ගේ නොසැලකිලිමත් හැසිරීමක් පිළිබඳව බලධාරීන්ට දැනුම් දෙන ලෙස ද පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.