July 21, 2025

ජුලි 27 වන දින පැවැත්වෙන ‘කෝට්ටේ රාජධානිය’ සංචාරක මංපෙත නිල වශයෙන් දියත්කිරීම රජය විසින් නිවේදනය කර තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසා ඇත්තේ, මෙය ශ්‍රී ලංකාවට සහ විශේෂයෙන්ම ඓතිහාසික කෝට්ටේ නගරයට වැදගත් සන්ධිස්ථානයක් බවයි.

මෙම වැඩසටහන නගරයේ උරුමය, සංස්කෘතිය සහ නාගරික තෙත්බිම් ජෛව විවිධත්වයේ විශිෂ්ට සම්මිශ්‍රණය පෙන්නුම් කරමින් ආදර්ශ ගමනාන්තයක් ලෙස කෝට්ටේ සංවර්ධනය කිරීමේ පුළුල් දැක්මක කොටසක් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ලොව ප්‍රථම තෙත්බිම් අගනුවර සහ ශ්‍රී ලංකාවේ අවසාන රාජකීය අගනුවර ලෙස කෝට්ටේ පාරිසරික, සංස්කෘතික සහ සුවතා සංචාරක ව්‍යාපාරය සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපායමාර්ගික මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර ප්‍රජා මූලික සංවිධානයක් වන කෝට්ටේ හරිත සංචාරක ජාලය විසින් බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සහයෝගය ඇතිව එය සංවිධානය කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

‘කෝට්ටේ රාජධානිය’ සංචාරක මංපෙත් උත්සවය සංකේතාත්මක උරුම පෙළපාලියක්, සැලකිය යුතු සංස්කෘතික හා පාරිසරික සන්ධිස්ථාන වෙත සංචාරය කිරීම, විදේශීය අමුත්තන්, ජාතික නායකයින් සහ ජනමාධ්‍ය සම්බන්ධ කරගැනීම සහ ප්‍රජාව විසින් මෙහෙයවන මුලපිරීම් සහ සංරක්ෂණ ප්‍රයත්නයන් ප්‍රදර්ශනය කිරීමකින් සමන්විත වේ.

“මෙමඟින් කෝට්ටේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම, තිරසාර සංවර්ධනය සහ වගකීම් සහිත සංචාරක ව්‍යාපාරය හරහා ප්‍රජා උන්නතිය සහතික කිරීම සඳහා වන දිගුකාලීන සැලැස්මක ආරම්භය සනිටුහන් කරයි. එම වැඩසටහන කෝට්ටේ ගෝලීය සංචාරක සිතියමට ඇතුළත් කර අපගේ ස්වභාවික හා සංස්කෘතික උරුමය පරම්පරා ගණනාවකට සුරැකීමට උපකාරී වේ” යනුවෙන් ඔහු පවසයි.

නිවැරැදි හවුල්කාරිත්වය, ක්‍රියාකාරී ප්‍රජා සහභාගීත්වය සහ අඛණ්ඩ රාජ්‍ය අනුග්‍රහය සමඟින්, අනාගතය සඳහා නව අවස්ථා විවෘත කරන අතරම ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ අතීතයට ගෞරව කරන, ජීවමාන, පරිසර හිතකාමී සංචාරක ආකෘතියක් බවට කෝට්ටේ පරිවර්තනය කිරීමට මෙම වැඩසටහන ඔස්සේ හැකියාව පවතින බව ද නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පෙන්වාදෙයි.