May 29, 2025

කටුනායක ගුවන් තොටුපළ පැමිණෙමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් සේවිකාවකට ලිංගික හිරිහැර කළ බවට චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලාංකික මගියකු අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු අප්‍රිකානු ජාතික 39 හැවිරිදි කාන්තාවකට මෙලෙස ලිංගික හිරිහැර කළ පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළට පැමිණිමෙන් පසු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

සැකකරු නැව් කපිතාන්වරයකු ලෙස සේවය කරන 49 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.

ඊයේ (27) ඩුබායි සිට කටුනායක බලා ගමන් කරමින් සිටි ගුවන්යානයේදී එම ගුවන් සේවිකාවට ලිංගික හිරිහැර කර ඇති අතර, එහිදී සැකකරු අධික ලෙස බීමතින් සිට ඇති බව පොලිසීය කියයි.

ගුවන් සේවිකාව වහාම ගුවන් නියමුවාට දැනුම් දී ඇති අතර, පසුව කටුනායක ගුවන්තොටුපළට පැමිණි පසු ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ සහාය ඇතිව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මීගමුව අධිකරණ වෛද්‍ය පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු බීමතින් සිටි බව තහවුරු විය.

සැකකරු අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.