
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදයෙන් පසුව, ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියේ විකාශනය සහ ප්‍රවර්ධනය දින නියමයක් නොමැතිව තහනම් කිරීමට බංග්ලාදේශ රජය නියෝග කර තිබේ.
ජනවාරි 5 වැනිදා නිකුත් කරන ලද නිල නිවේදනයකින් බලධාරීන් තහවුරු කළේ IPL ආශ්‍රිත සියලුම විකාශන, ප්‍රවර්ධන සහ උත්සව ආවරණය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති අතර වැඩිදුර නියෝග ලැබෙන තුරු එලෙසම පවතින බවයි.
මෙම තීරණය ‘මහජන යහපත’ සඳහා ගෙන ඇති බවත්, නිසි අධිකාරිය විසින් අනුමත කරන ලද බවත් එම නිවේදනයේ සඳහන් වේ.
නව තරග වාරයට පෙර කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයෙන් මුස්තාෆිසුර් නිදහස් කිරීමට IPL ගත් තීරණයට අනුව මෙම නියෝගය නිකුත්කර ඇත.
බංග්ලාදේශ බලධාරීන්ට අනුව, මෙම පියවර ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපදෙස් ලෙස දැනුම් දී ඇති අතර ඊට ‘කිසිදු තාර්කික හේතුවක්’ නොමැති බව කියැවේ.
“ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයේ මෙම තීරණයට තාර්කික හේතුවක් නොමැති අතර මෙම තීරණය බංග්ලාදේශ ජනතාව කණස්සල්ලට, කම්පනයට හා කෝපයට පත්කර ඇත” යනුවෙන් රජයේ නියෝගයේ සඳහන් වේ.
එය ගැටලුව වටා ගොඩනගා ඇති දැඩි මහජන හැඟීම පිළිබිඹු කරයි.
එහි ප්‍රතිඵලයක් ලෙස, බංග්ලාදේශය පුරා IPL ආශ්‍රිත සියලුම විකාශන සහ ප්‍රවර්ධන කටයුතු අත්හිටුවීමට රජයට සිදු වූ බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
“ඉදිරි නියෝගයක් ලැබෙන තුරු ඉන්දීය ප්‍රිමියර් ලීගයේ සියලුම ක්‍රීඩා සහ සිදුවීම් ප්‍රවර්ධනය/විකාශනය නතර කරන ලෙස ඉල්ලීමක් කර ඇත,”යනුවෙන් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් විය.
මෙම බලපෑම විකාශන සීමාවන් ඉක්මවා ගොස් ඇත.
ආරක්ෂක ගැටළු සහ රජයේ උපදෙස් උපුටා දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය එළඹෙන ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා තම ජාතික කණ්ඩායම ඉන්දියාවට නොයැවීමට තීරණය කර ඇත.
ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයේ උපදෙස් අනුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් මුස්තාෆිසුර් නිදහස් කිරීමට ගත් පියවරෙන් පසුව මෙම තීරණය ගෙන ඇත.
IPL වෙතින් මුස්තාෆිසුර්ගේ හදිසි ඉවත්වීම සෙනසුරාදා රාත්‍රියේ හදිසි රැස්වීමක් කැඳවීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය පොළඹවන ලදී.
ඉරිදා පැවති අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීමකින් පසුව, පෙබරවාරි 7 වැනිදා ආරම්භ වීමට නියමිත T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ජාතික කණ්ඩායම ඉන්දියාවට නොයන බවට ඒකමතික තීරණයක් ගන්නා ලදී.
“පසුගිය පැය 24 තුළ සිදු වූ වර්ධනයන් සැළකිල්ලට ගනිමින් මණ්ඩලය තත්ත්වය විස්තරාත්මකව සමාලෝචනය කළ අතර ඉන්දියාවේ පැවැත්වීමට නියමිත තරඟ සඳහා බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ සහභාගීත්වය වටා ඇති සමස්ත තත්වයන් පිළිබඳ දැඩි කණස්සල්ල පළ කළේය,” යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේය.
“පවත්නා තත්ත්වය සහ ඉන්දියාවේ බංග්ලාදේශ කණ්ඩායමේ ආරක්ෂාව පිළිබඳ වර්ධනය වන ගැටළු පිළිබඳ ගැඹුරු තක්සේරුවකින් පසුව සහ බංග්ලාදේශ රජයේ උපදෙස් සැළකිල්ලට ගනිමින්, බංග්ලාදේශ ජාතික කණ්ඩායම වත්මන් තත්ත්වයන් යටතේ තරඟාවලිය සඳහා ඉන්දියාවට නොයන බවට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළේය.” යනුවෙන් එහි සඳහන් විය.
රැස්වීමෙන් පසු, බංග්ලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂ කලීඩ් මෂුඩ් පයිලට් මණ්ඩලයේ ගැටළු පිළිබඳ විස්තර කළේය.
“ඔවුන්ට (ඉන්දියාවට) අපගේ ක්‍රීඩකයකුට ආරක්ෂාව සැපයිය නොහැකි නම්, ඔවුන් අපගේ මුළු කණ්ඩායමේම ආරක්ෂාව සහතික කරන්නේ කොහොමද ? ඒ නිසා අපි ක්‍රීඩා කරන්න ඉන්දියාවට යන්නේ නැහැ,” ඔහු මුස්තාෆිසුර්ගේ තත්ත්වය ගැන සඳහන් කරමින් පැවසීය.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙම ගැටලුව විසඳනු ඇතැයි අපේක්ෂා කරන අතර, පවතින තරඟාවලි සැලැස්ම යටතේ බංග්ලාදේශය ඔවුන්ගේ ලීග් තරඟ හතරම ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart