January 19, 2026

බීමත් රියැදුරන් හඳුනාගැනීම සඳහා භාවිත කරන ශ්වසන පරීක්‍ෂණ නළ (Breathalyzers) මිලදී ගැනීමේ කටයුතු වැඩි මිලක් ඉදිරිපත් කළ සැපයුම්කරුවකුට ලබාදීමේ උත්සාහයක් පවතින බවට චෝදනා එල්ලවී ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාටත්මේ පැමිණිලි කර තිබේ.

2025 ජුනි 09 දින ශ්වසන පරීක්‍ෂණ නළ මිලදීගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇති අතර ඒ සඳහා සැපයුම්කරුවන් 07 දෙනකු ඉදිරිපත් වී ඇති නමුත් එක් අයකු සාම්පල් නොදීම නිසා ප්‍රතික්ෂේප වී ඇත.

සැපයුම්කරුවන් 07දෙනා මිල ගණන් ඉදිරිපත් කර තිබියදී අඩු මිල ඉදිරිපත් කළ සැපයුම්කරුට වඩා වැඩි මිලක් ඉදිරිපත් කළ සැපයුම්කරුට ටෙන්ඩරය නිසි ක්‍රමවේදයකින් තොරව ලබාදීමට යන බව කියමින් එයට විරෝධය දක්වා ජනාධිපති ලේකම්වරයාටත්, ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයටත් පැමිණිලි කිරීමට සැපයුම්කරුවන් දෙදෙනකු කටයුතු කර ඇති බව දැනගන්නට තිබේ.

අඩු මිල ඉදිරිපත් කළ සැපයුම්කරු මීට පෙර ද එම උපකරණ පොලිසියට සපයා ඇති අයකු බවද කියයි.

ටෙන්ඩර් කොන්දේසි අනුව ශ්වසන නළ පරීක්‍ෂා කිරීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLS) මගින් සිදුකරන බවට දැනුම් දී ඇතත් එය රසපරීක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් සිදුකර ඇති බවත් පවසන ඔවුන් සැපයුම්කරුවන් ඉදිරියේදී එම නළ පරීක්‍ෂා කරන ලෙසත් ඉල්ලා ඇත.

ශ්වසන නළ වැඩි මිලට ගනු ලැබුවහොත් රුපියල් 60ක් පමණ අමතර වැයක් දැරීමට සිදුවන බවත්, එම නිසා මෙම ප්‍රසම්පාදනය නැවත සලකා බලන ලෙසත් ඔවුන් ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

මේ ආකාරයෙන් 2024 සහ 2025 වර්ෂ සඳහා පොලිස් නිල ඇඳුම් සහ සපත්තු ලබාදීමට ප්‍රසම්පාදන දුර්වලතා නිසා නොහැකි වූ බවත් ඒ සඳහා නිලධාරීන්ට මුදල් ලබාදීමට සිදුව තිබූ බවත් ඔවුහු චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ සැපයුම් අධ්‍යක්‍ෂ කැළුම් තිලකරත්නගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ, අඩුම මුදල ගැන පමණක් නොව එහි ප්‍රමිතිය ඇතුළු කරුණු කිහිපයක් සැලකිල්ලට ගෙන ශ්වසන නළ ලබාගැනීමේදී කටයුතු කරන බවත්ය.

මේ වනතෙක් කුමන පාර්ශ්වකයන්ගෙන් ගන්නාව ද යන්න අවසන් එකඟතාවයකට පැමිණ නැති බවත් ඔහු පවසා ඇත.

කෙසේවෙතත් 2026 වසර සඳහා පොලිස් නිලධාරීන්ට සපත්තු සහ නිල රෙදි ලබාගැනීමට ටෙන්ඩර් කැඳවීමට නියමිතව පවතින බවත් ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.