June 24, 2025

ඉරිදා වොෂින්ටනය ඔවුන්ගේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහරදීමෙන් පසු ඉරානය මැදපෙරදිග ඇමරිකානු කඳවුරු සහ හමුදා නිලධාරීන්ට පහරදෙන බවට ප්‍රතිඥා දී තිබුණි.

එක්සත් ජනපද සහ කටාර්හි එක්සත් රාජධානියේ තානාපති කාර්යාල මීට පෙර ප්‍රකාශ නිකුත් කර තිබුණේ, කටාර්හි පුරවැසියන්ට නැවත දැනුම්දෙන තුරු ආරක්‍ෂිත ස්ථානවල නවාතැන් ගන්නා ලෙසයි.

ආරක්ෂාව සහතික කිරීම සඳහා ගෙන ඇති පියවරවල කොටසක් ලෙස කටාර් තම ගුවන් කලාපය තාවකාලිකව වසාදැමූ බවද නිවේදනය කෙරිණි.

ඊයේ රාත්‍රියේ කටාර්හි අල් උඩෙයිඩ් ගුවන් කඳවුරේ මිසයිල ආරක්ෂක පද්ධති අහසට දියත් වන බව දැකගැනීමට ලැබිණි.

අගනුවර පුරා ඝෝෂාකාරී පිපිරීම් ඇසිණි.

ඉරානයේ විප්ලවවාදී ආරක්ෂකයන් අල් උඩෙයිඩ් කඳවුරට එල්ලකළ ප්‍රහාරය තහවුරු කළේය.

මේ අතර, කටාර් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මජෙඩ් අල්-අන්සාරි පවසන්නේ අල්- උඩෙයිඩ් කඳවුරට එල්ල කළ ඉරාන ප්‍රහාරය “කටාර්හි ස්වෛරීභාවය සහ ගුවන් අවකාශය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක්” බවයි.

“කටාර් රාජ්‍යයේ අපි, අන්තර්ජාතික නීතියට අනුකූලව මෙම අමානුෂික ආක්‍රමණයට සෘජුව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය රඳවා තබාගනිමු,” අල්-අන්සාරි නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය.

කටාර් ගුවන් ආරක්ෂක මගින් ප්‍රහාරය ව්‍යර්ථ කළ අතර ඉරාන මිසයිලවලට සාර්ථකව මුහුණදුන් බව ඔහු තවදුරටත් පැවසීය.

ඉරානයේ ආරක්ෂක මණ්ඩලය පවසන්නේ ප්‍රහාරය ‘සහෝදර’ කටාර්ට රාජ්‍යයට එරෙහිව නොවන බවත්, එය ඇමෙරිකානු හමුදාවන්ට එල්ලකළ ප්‍රහාරයක් බවත්ය.

අල් උඩෙයිඩ් ගුවන් කඳවුරට එල්ල වූ මිසයිල ප්‍රහාරය කටාර්හි නේවාසික ප්‍රදේශවලින් ඈත්ව සිදු වූ බව ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය පවසයි.

“මෙම ක්‍රියාව මිත්‍රශීලී සහ සහෝදර රට වන කටාර්ට සහ එහි උතුම් ජනතාවට කිසිදු තර්ජනයක් නොවන අතර, ඉරාන ඉස්ලාමීය ජනරජය කටාර් සමඟ උණුසුම් හා ඓතිහාසික සබඳතා පවත්වා ගැනීමට සහ අඛණ්ඩව පවත්වාගෙන යාමට කැපවී සිටී,” කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය.

කෙසේවෙතත්, කටාර් රාජ්‍යය එම ප්‍රහාරය එහි ස්වෛරීභාවය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් ලෙස හෙළාදුටුවේය.