
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනය අවසන් අදියරේ පසුවන බැවින් ඔහුට එරෙහිව ඉහළ අධිකරණයක නඩු පවරන බව නීතිපතිවරයා කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාරට දැනුම්දුන්නේය.
නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සිදුකරනු ලබන විමර්ශන කටයුතු අවසාන අදියරේ පසුවන බැවින් ඉහළ අධිකරණයක නඩු පැවරීමට කටයුතු කරන බව සඳහන් කරමින් ඒ බව දන්වා සිටියේය.
ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධුර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් රජයට සිදුකළ බව කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පවරා තිබේ.
මෙම නඩුවේ විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය පුද්ගලයකු බව කියන හිටපු ජනාධිපතිගේ ලේකම්වරයා වන සමන් ඒකනායකගේ විදේශ ගමන් තහනම ලිහිල් කරන ලෙස නීතිඥවරුන් ඉල්ලීමක් කර තිබිණි.
එම ඉල්ලීම සම්බන්ධයෙන් ඊයේ (19) අධිකරණයේදී කරුණු දැක්වීම සිදු වූ අතර, එහිදී එම ලේකම්වරයා වෙනුවෙන් අධිකරණයෙන් ඉල්ලා තිබූ විදේශ ගමන් තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් ඉල්ලීම ඉල්ලා අස්කරගන්නා බව ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අධිකරණයට දැන්වීය.
ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට කරන ලද ඉල්ලීම නිෂ්ප්‍රභ කරනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේ, එම ලේකම්වරයාගේ දියණියගේ දරු ප්‍රසූතියට යෑම සඳහා විදෙස් ගමන් තහනම ලිහිල් කරන ලෙස ඉල්ලා සිටිය බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේ, එම ලේකම්වරයාට විදේශ ගමන් තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් විරෝධතාවයක් දක්වන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙලෙස සඳහන් කළේය.
“ස්වාමිනී, මෙම සිද්ධියට අදාළව විමර්ශන කටයුතු අවසාන අදියරේ පසුවන බැවින් ලබන මාසය වන විට විමර්ශන අවසන් කළ හැකි බව දක්නට ලැබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ 50 අධික ප්‍රමාණයක් මේ වනවිට ලබා ගෙන තිබෙනවා. විමර්ශන අවසන් අදියරේ. ලබන මාසය වනවිට විමර්ශන අවසන්. ඉහළ අධිකරණයක නඩු පැවරීමට පියවර ගන්නවා. විදේශ ගමන් තහනම් ඉවත්කරන ලෙස ඉල්ලා සිටින හිටපු ජනාධිපති ලේකම්වරයා ප්‍රධාන මූල්‍ය පාලකවරයා. සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ප්‍රධානියා. ප්‍රශ්නගත ලිපිය විමර්ශනය කිරීම පමණයි සිදුකිරීමට තිබෙන්නේ. අධිකරණ නියෝග ප්‍රකාරව විමර්ශන කරමින් පවතිනවා. එම ලේඛනය ව්‍යාජ ලේඛනයක් බවයි පැමිණිල්ලේ ස්ථාවරය. එම නිසා ලේඛනය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් සිදුකරනවා.”
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙලෙස සඳහන් කළේය.
“අද දින පැමිණිල්ල කැඳවන්නේ නිශ්චිත කාරණයකට. නඩුව කැඳවන දින විමර්ශන ප්‍රගතිය දැනුම්දෙන්න. ඉල්ලීම අස්කර ගැනීමට කරන ඉල්ලීමට අනුව ඉල්ලීම නිෂ්ප්‍රභ කරනවා” යනුවෙන් සිය නියෝගය ප්‍රකාශයට පත්කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart