May 27, 2025

විදෙස්ගතව සිටින කෙහෙල්බද්දර පද්මේ නමැති සංවිධානාත්මක අපරාධකරුට ව්‍යාජ ලෙස විදෙස් ගමන් බලපත්‍රයක් සකස්කර දීම සම්බන්ධයෙන් සැකපිට සහකාර ආගමන විගමන පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ, ඇඟිලි සලකුණු නොමැතිව කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ විදේශ ගමන් බලපත්‍රය සකස්කර දී ඇත්තේ අත්අඩංගුවට ගත් අදාළ නිලධාරියා බවට සැකකෙරෙන බවයි.

කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සැකසීමට කටයුතු කළ තවත් සැකකරුවන් දෙදෙනකුද මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිසිය පවසන්නේ, ඔවුන් දෙදෙනා කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ ඡායාරූපය Whatsapp මගින් ලබාගෙන එය සංස්කරණය කර, විදේශ ගමන් බලපත්‍ර සැකසීම සදහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බව විමර්ශනවලදී හෙළිවි ඇති බවයි.

කෙහෙල්බද්දර පද්මේ නමැත්තා 2014 වර්ෂයේ ලබාගත් විදෙස් ගමන් බලපත්‍රයකින් 2021 දී විදෙස් ගතව ඇති අතර, පසුගිය වසරේ දී එය කල්ඉකුත් වී තිබේ.

මීට අමතරව කෙහෙල්බද්දර පද්මේගේ ඡායාරූපය ඇතුළත් කර වෙනත් නම් දෙකකින් මේ වසරේ දී ව්‍යාජ ලෙස තවත් විදෙස් ගමන් බලපත්‍ර දෙකක් ද ලබාගෙන ඇති බවට දැනට සිදුකළ විමර්ශනවල දී අනාවරණවී ඇති ඇතැයි පොලීසිය සඳහන් කරයි.